ටයිල්, මුහුණු ආවරණ, බයිසිකල්, සබන්, ඇතුළු භාණ්ඩ වර්ග 433 ක් ආනයනයට සීමා

Spread the love

ටයිල්, ග්‍රැනයිට්, ලී බඩු, ප්ලාස්ටික්, මුහුණු ආවරණ ,බයිසිකල්, සබන්, ලුනු ඇතුළු භාණ්ඩ වර්ග 433 ක් ආනයනය කිරීම සීමා කර ඇතැයි  සමෘද්ධි සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද  (10) පැවසුවේය.

ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යෑම සඳහා මෙම පියවර ගත් බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළේ.

මෙම භාණ්ඩ ආනයනය කිරීම සඳහා 2018 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් බිලියන 2.2ක්ද 2019 වර්ෂයේදී  ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක්ද වැය කර ඇති බව පැවසූ ශෙහාන් සේමසිංහ මහතා  මෙම භාණ්ඩ ආනයනය කිරීම තාවකාලිකව තහනම් කිරීම නිසා ඇමරිකානු ඩොලර් බිලියන 1.6ක් ඉතිරි කර ගැනීමට හැකිවී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

එසේම වාහන ආනයනය  තහනම් කිරීම නිසා ඇතිවූ වෙළෙඳපොළ හිඟය  සපුරා ගැනීම සඳහා වාහන එකලස් කිරීමේ කර්මාන්තය දේශීයව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරගෙන යන බවත් මේ සඳහා ආයෝජකයන් එකොළොස් දෙනෙකු රජය සමග සාකච්ඡා කර ඇති බවත් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා අගමැතිවරයාගෙන් ඇසූ ප්‍රශ්නයකට ඔහු වෙනුවෙන් පිළිතුරු දෙමිනි.

Related Posts