ජල ගැලීම් නිසා පීඩාවට පත්වන ‘ජනතා ගැටලු අවම කිරීමට’ අගමැති මැදිහත්වෙයි

Spread the love

අතරමග නවතා දමා ඇති ව්‍යාපෘති කඩිනමින් අවසන් කරමින් ජල ගැලීම් නිසා ජනතාව මුහුණ දෙන ගැටලු අවම කිරීමට පළාත් පාලන ආයතන, මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් එක්ව සාමූහික තීන්දුවකට එළැඹෙන්නැයි  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (18) දින අරලියගහ මන්දිරයේ දී උපදෙස් දුන්නේය.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ජල ගැලීම්වලට ලක්වන පහත්බිම් සඳහා විසඳුම් ලබාදීමේ සාකච්ඡාවකට එක්වෙමින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.

එක් එක් ආයතන වෙත බෙදී ඇති කාර්යයන් නිසි පරිදි ඉටු නොවීම හේතුවෙන් ජනතාව මෙන්ම රජය ද අපහසුතාවයට පත් වන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා මේ වනවිට ආරම්භ කර තිබෙන ව්‍යාපෘති අතරමග නවතා දැමීමකින් තොරව අවසන් කිරීම සඳහා සියලු ආයතන එක්ව කටයුතු කරන්නැයි නියෝග කළේය.

ජනතාවට එලෙස කඩිනම් විසඳුම් ලබා දිය යුතු ව්‍යාපෘති සඳහා අවශ්‍ය ප්‍රතිපාදන නිසි ක්‍රමවේදයන්ට යටත්ව ලබා දෙන බව අග්‍රමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

පෙතියාගොඩ, අඹතලේ, ඔලියමුල්ල ජල පොම්පාගාර ආශ්‍රිතව කළ යුතු සංවර්ධන ව්‍යාපෘති, වැසි ජලය බැසයන ඇළ මාර්ග පවිත්‍ර කිරීම සහ සංවර්ධනය කිරීම නව පොම්පාගාර මගින් ජලය බැහැර කිරීම මෙන්ම පහත් බිම් වල ජනතාව ජල ගැලීම් වලට ලක් නොවන ලෙස පදිංචි කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහි දී අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු විය.

“ජල ගැලීම් නිසා ජනතාව මුහුණ දෙන ගැටලු අවම කරන රජයේ වැඩපිළිවෙලට රාජ්‍ය නිලධාරීන්ගේ සහය මෙන්ම පළාත් පාලන ආයතන වල සහයෝගයත් ඉතා වැදගත්.

මහජන නියෝජිතයින් සමඟ සාකච්ඡා කරමින් නිවැරදිම ක්‍රමවේද තුළින් සාර්ථක ව්‍යාපෘති ක්‍රියාත්මක කොට ජනතාවට සහනයක් ලබාදීම ප්‍රායෝගිකව ඉටු කළ යුතු”යැයි අග්‍රාමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය.

 සාමුහිකව ගනු ලබන තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට නිලධාරීන්ට වගකීමක් තිබෙන බව කී අග්‍රාමාත්‍යතුමා අදාළ ව්‍යාපෘති කඩිනමින් අවසන් අදියර දක්වා ක්‍රියාත්මක කළ යුතු යැයි අවධාරණය කළේය.

විවිධ රාජ්‍ය ආයතන වෙත අලුතින් අනියුක්ත කර ඇති බහු කාර්යය සංවර්ධන කාර්යසාධන බලකායේ රැකියාලාභීන් රටේ සංවර්ධන කාර්යයන් සඳහා යොදා ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා මෙහි දී උපදෙස් ලබා දුන්නේය.

කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කළ මගී බෝට්ටු ප්‍රවාහනය නිසි නියාමන ක්‍රමවේදයක් සහිතව ක්‍රමවත් කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

Related Posts