ජරා සීනි කිලෝ 10,000ක් මිනිසුන්ට කවන තැත වරදී !

Spread the love

මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පැවති ඉන්දියාවෙන් ලංකාවට ගෙන්වා තිබූ සීනි තොගයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවක ඉතා සූක්ෂම ලෙස නැවත ඩුබායි රටෙන් ගෙන්වූ සීනි බවට පෙනෙන පරිදි ඇසුරුම් කරමින් සිටියදී දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය ඊයේ (13) පස්වරුවේ සොයාගත් බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසීය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවක ඉදිරිපස දොර වසා කම්කරුවන් යොදාගෙන ගබඩාව තුළ මෙම  ක්‍රියාවලිය දින කිහිපයක සිට සිදුවෙමින් පවතින බවට නගරාධිපති ජාලිය ඕපාත මහතාට නගර සභාවේ සෞඛ්‍ය අංශයේ සේවකයකු විසින් ලබා දුන් තොරතුරක් මත එම ස්ථානයට පැමිණ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවව මෙම සීනි තොගය සහ වෙළඳසැල් හිමිකරු පිළිබඳව දඹුල්ල පොලිසියට පැමිණිලි කිරිමට පියවර ගෙන තිබේ.

ඉදිරි නත්තල හා උත්සව සමයේ මෙම සිනි තොග රට පුරා පාරිභෝගික ජනතාවට අලෙවි කිරීම මෙම ව්‍යාපාරිකයින්ගේ සැලසුම වී තිබේ.

රටේ සිනි හිඟයක් පැවති වකවානුවේ සඟවා තිබූ මෙම සීනි මීයන් සහ වෙනත් සතුන් විසින් විනාශ කොට ඇති අතර මේවායේ  ඇසුරුම් සියල්ල දිරා  ගොස් තෙත බරිත හා අව පැහැ ගැන්වී ඇත. ඇතැම් තෝග මිටි මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට ම පත්ව තිබූ බව දඹුල්ල නගරාධිපති  ජාලිය ඕපාත මහතා පැවසීය.

තමන් ඇතුළු කණ්ඩායම එම ස්ථානයට යන විටත් සේවකයන් කිහිප දෙනෙකු ඉන්දියාවෙන් ගෙන්වා තිබු මෙම සීනි තොග බිම දමාගෙන කිසිදු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයකින් තොරව වෙන්කොට කල් ඉකුත්වීමේ දින සහිත නිෂ්පාදන දින වෙනස් කොට ඩුබායි රටෙන් ගෙන්වූ සීනි බවට පත් කරමින් නැවත ඇසුරු කරමින් සිටි බව නගරාධිපතිවරයා පැවසීය.

මේ ගැන ප්‍රශ්න කළ විට මෙම ක්‍රියාවලිය සිදු කරමින් සිටී ව්‍යාපාරිකයන් කියා සිටියේ ආහාරයට සුදුසු ප්‍රමාණය පමණක් ලබාගෙන ඉතිරි  සීනි තොග ඉවත් කිරීම් සඳහා සකසමින් සිටි බවය.

කෙසේ වෙතත් මෙම ගබඩාව පිළිබඳව නිරීක්ෂණය කිරීමේදී  ආහාර ද්‍රව්‍ය රැසක් ද දැඩි ලෙස අපවිත්‍ර තිබූ බවත් රෙදි සෝදන සබන් කුඩු වර්ග, දියලුණු,  කොත්තමල්ලි, සහල් ආදිය එකම ගබඩාවක එකම ගොඩේ ඇසුරුම් කර ඇති අයුරු දැක ගැනීමට හැකි වූ බව ද නගරාධිපතිවරයා කීය.

නගරාධිපති ජාලිය ඕපාත මහතා සේවකයන්ට අවවාද කරන අයුරු

මෙම ව්‍යාපාරිකයාට මීට පෙර අවස්ථා කිහිපයකදීම ජනතාව පරිභෝජනය කිරීමට නුසුදුසු තත්ත්වයේ පවතින පාරිභෝගික භාණ්ඩ ගබඩා කිරීම, අලෙවි කිරීම ආදී සිදු නොකරන ලෙස අවවාද කිරීම් සහ අධිකරණ කටයුතු ක්‍රියා මාර්ග පවා රැගෙන තිබෙන බවත් එහෙත් දිගින් දිගටම මෙම ක්‍රියාවලිය සිදු කරන නිසා දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක රුශාන්ත පෙරේරා මහතාට  දැනුම් දී පොලිසියේද සහය ලබාගෙන මෙම සීනි තොගය මහජනතාවට අලෙවි කිරීමට සූදානම් කිරීම සම්බන්ධයෙන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කොට නීතිය ක්‍රියාත්මක කරන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

නගරාධිපතිවරයා විසින් මෙම වංචාව ගැන දිගින් දිගටම සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම ව්‍යාපාරිකයා කියා සිටියේ ඉන්දියාවෙන් ගෙන්වූ  මෙම සීනි ගබඩාව තුළ තිබියදී දිය වී ඇති බව ය. එම නිසා ඇසුරුම් ඉවත් කොට වෙනත් රටක ඇසුරුම් වලට යෙදුවේ ඉන්දියාවේ ඇසුරුම් නොමැති නිසාවෙන් බවය. මෙම සීනි තොගයෙන් ආහාරයට ගැනීමට සුදුසු වේවා පමණක් අලෙවි කරන බව ද මෙම ගබඩාවේ එවැනි සීනි කිලෝ දස දහසක් පමණ තිබෙන බව ද ඔහු කීවේය.

නගරාධිපතිවරයාගේ දැනුම් දීමට අනුව සහ දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක රුශාන්ත පෙරේරා මහතාගේ උපදෙස් පරිදි පොලිස්  නිලධාරීන් කිහිප දෙනෙකු පැමිණ ගබඩාව පරීක්ෂා කිරීම් කටයුතු සිදු සිදුකරන්නට විය.

ගබඩා හිමිකරුවන් නැවත මෙම වරද සිදු නොකරන බවත් එම නිසා සමාවක් ලබා දෙන ලෙස එහි සේවකයෝ පොලිසියෙන් කළ ඉල්ලීම පොලිසිය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ සීනි ආහාරයට ගනිද්දී  සෝදා පරිභෝජනය නොකරන බවය. වෙළදාම කිරීමේදී වගකීමකින් යුතුව කටයුතු කිරීම ව්‍යාපාරිකයන් සතු වගකීමක් බව ද පොලීසිය මෙම ව්‍යාපාරිකයාගේ සේවකයන්ට  පෙන්වා දුන්නේය.ෙ

මෙහිදී දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා කියා සිටියේ ව්‍යාපාරිකයන් අපහසුතාවයකට පත් කිරීම් නොව රටේ මහජනතාව ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ සෞඛ්‍යය පිළිබඳව තීන්දු තීරණ ගැනීම් දඹුල්ල ප්‍රදේශයේ ප්‍රධාන සෞඛ්‍ය බලධාරීයා  ලෙස තමාගේ වගකීම් බවය.

මෙම ගබඩාවට මුද්‍රා තබා 14 දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කොට අධිකරණය ලබාදෙන තීරණය ක්‍රියාත්මක කරන බව පොලිසිය පැවසිය.

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

Related Posts