ජනාධිපතිවරණයත් සමඟ ක්‍රියාත්මක වන මැතිවරණ වියදම් නියාමන පනත

Spread the love

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත  පළමු වරට ක්‍රියාත්මක වනු ඇත්තේ 2024 ජනාධිපතිවරණයේ දී ය.  මෙරට පුරවැසියන් තබා, ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සුදානම්වන දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයින් නව පතත මගින් ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරයට සිදු කරනු ලබන බලපෑම පිළිබඳ නිසි තක්සේරුවක් ඇතිව සිටින්නේ දැයි සැක සහිතය.  ජනාධිපතිවරණයට හෝ පාර්ලිමේන්තු මැතිවරණයට හෝ ඉදිරියේ පැවැත්වෙන වෙනත් මැතිවරණයකට තරඟ කරන සියළු අපේක්ෂකයින් තමන්ගේ මැතිවරණ ආදායම හා වියදම පිළිබඳ ප්‍රකාශයක් මැතිවරණ කොමිසමට අනිවාර්යයෙන්ම ලබා දිය යුතුය.

2023 අංක 3 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත මගින් ඉදිරි ජනාධිපතිවරණයට/පාර්ලිමේන්තු මැතිවරණයට සිදු කරන බලපෑම දෙවනි වනු ඇත්තේ, ‘දෙවන මනාපය‘ ට ලැබෙන අගයට පමණී.

ජනාධිපතිවරණය (හෝ මහා මැතිවරණයට) සඳහා නාම යෝජනා බාර දෙන දිනයේ දී ම, පක්ෂයේ බලයලත් නියෝජිතයාට පනතේ විධිවිධාන අපේක්ෂකයින් හා පක්ෂ විසින් ලබාදිය යුතු වියදම් ප්‍රකාශනයේ ආකෘතියක් ලැබෙනු ඇත.  නාම යෝජනා බාර ගැනීමෙන් දින පහක් තුල පනතේ 3 (ඇ) වගන්තිය අනුව ලංකාවේ එක් ලියාපදිංචි ඡන්දදායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදල මැතිවරණ කොමිෂන් සභාව විසින් (දේශපාලන පක්ෂ හා සාකච්ඡා කිරීමෙන් පසුව) තීරණය කරනු ඇත. එය රටේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් (හෝ දිස්ත්‍රික්කයේ ඡන්ද සංඛ්‍යාවෙන්) ගුණ කර එක් අපේක්ෂකයෙකු/පක්ෂයක් ජනාධිපතිවරණයේ දී වියදම් කළ හැකි මුදල තීරණය කරනු ඇත.

පසුගිය පළාත් පාලන ඡන්දයේ දී එක් ඡන්දදායකයෙකුට රු. 20 ක මුදලක් වියදම් කළ හැකි බව තීරණය වූ අනුව, කොට්ඨාශයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව දැරිය හැකි විදයම තීරණය කර තිබුණි.   යම් කොට්ඨාශයක ඡන්ද 2000 ක් ලියාපදිංචි වූවේ නම්, (රු. 20 බැගින්) දැරිය හැකි විදයම 2000 වරක් 20 =  රු. 40,000 ක් වූවේය.  මෙම මුදල තීරණය කළේ කුමන ගණනය කිරීමක් මත පදනම්ව ද, දේශපාලන පක්ෂ එයට එකඟවූවේ විධිමත් අධ්‍යයනයකින් පසුව ද යන්න නොදනිමි. නමුත්, එය කොපමණ අමනෝඥ ගණනය කිරීමක් ද යන්න, තේරුම් ගැනීමේ පහසුව සඳහා අගතියකින් තොරව පැහැදිලි කරමි. මගේ ගමේ, වැලිමඩ අපේක්ෂකයෙකු නාමයෝජනා බාරදීමට බදුල්ල කච්චේරියට යන්නට වාහනයකට අවම වශයෙන් රු. 20,000 ක් වැය කරයි. අපේක්ෂකයා නාමයෝජනා දෙන්නට කච්චේරියට යන්නත්, පසුව අපේක්ෂක හැඳුණුම්පත ගන්නටවත් රු. 40,000 මුදල ප්‍රමාණවත් නැති බව එදා කිසිවෙකුට අවබෝධ වූවේ නැත.  මම පදිංචි කෝට්ටේ මහ නගර සභා සීමාව තුල, ජවිපෙ හි කාර්යාල විවෘත කර සැරසීමට පමණක් ඔවුන්ට නියමිත මුදල කොඩි සඳහා පමණක් වැය වූ බව මාගේ නිරීක්ෂණය යි.  

පනතේ 3. (2) (1) වගන්තිය අනුව, උද්ධමනය, ජාතික පාරිභෝගික මිල දර්ශන සැලකිල්ලට ගෙන මෙම මිල නියම කළ යුතු බව දක්වා ඇත.  පසුගිය වසරේ පලාත් පාලනයට රු. 20 ක් වූ මුදල, ජනාධිපතිවරණයේ දී කොපමණ ලෙස වැඩි කළ යුතු දැයි පැහැදිලි නැත. නමුත්, පසුගිය වර සිදු වූ අත්වැරැද්ද මෙවර සිදු නොකිරීම මැතිවරණ කොමිසමේ ද, අපේක්ෂකයින්ගේ ද වගකීමකි.  අනෙක් අතට, යථාර්ථවාදී එක් ඡන්දදායකයෙකු සඳහා රු. 300 ක හෝ 400 ක මුදලක් සඳහා ප්‍රධාන අපේක්ෂකයින් ඉල්ලීම් කරන්නේ නම්, එවිට කුඩා පක්ෂ එයට විරුද්ධවීම අනිවාර්යයෙන්ම බලාපොරොත්තු විය යුත්තකි. 

කෙසේ නමුත්, දේශපාලන පක්ෂ ජනාධිපතිවරණයට පෙරම තමන්ගේ විදයම් ඇස්තමේන්තුව සකස් කර එයට සරිලන මුදලක් පනතේ 3 (ඇ) වගන්තියට අනුව අනුමත කර ගැනීමට තරම් සවිඥානික විය යුතුය. නාම යෝජනා දිනයේ සිටම මැතිවරණ නිලධාරියෙකු මේ කටයුත්ත අධීක්ෂණයට දිස්ත්‍රික්ක මටට්ටමින් පත් කරනු ඇත. ඔවුහු වසර 5 ක් යන තුරු මෙම වියදම් ලේඛණ ගබඩා කොට සුරක්ෂා කරනු ඇත. ගබඩා පහසුකම් සැපයීමට ද, ලේඛන ආරක්ෂා කිරීමට ද, අතිරේක නිලධාරීන් හා සම්පත් යෙදවීමට සිදු වන්නේය.

පක්ෂ හා අපේක්ෂකයින්ට ලැබෙන පරිත්‍යාග, දායකත්ව, ද්‍රව්‍යමය ආධාර (ඇස්තමේන්තු වටිනාකම), ණය, අත්තිකාරම්, පරිත්‍යාගශීලීන්ගේ නම, ලිපියන, හැඳුණුම්පත් අංකය සමඟ වාර්තා කිරීමට අපේක්ෂකයින්ට සිදු වන්නේය.  එමෙන්ම, අත්පත්‍රිකා, පෝස්ටර්, කටවුට්, වෙළඳ දැන්වීම්, ඩිජිටල් දැන්වීම්, උපකරණ කුලියට ගැනීම, ඉන්ධන, සංදර්ශන වියදම්, ප්‍රවාහණ වියදම්, වේදිකා, පිට්ටනි, ශාලා ගාස්තු, ආහාර පාන විදයම් සියල්ල ද ලේඛන ගත විය යුතුය. අපේක්ෂකයාගේ ගමන් වියදම හා සන්නිවේදන වියදම හැර අන් සියල්ලම මේ වියදම් ගණයට වැටේ.

අදාල ආදායම් වියදම් වාර්තා ගැන තෘප්තිමත් නොවන්නේ නම්, ස්වාධීන පුද්ගලයෙකුට වුව ද, අපේක්ෂකයෙකුගේ වියදම් පිළිබඳ කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට පනතට අනුව ඉඩක් ඇත. උදාහරණයක් ලෙස ඡන්දදායකයෙකුට තම නිවසට ලැබෙන පෝස්ටර්, අත්පත්‍රිකා, දුරකතනයට ලැබෙන ඩිජිටල් දැන්වීම් හි වියදම පිළිබඳව පවා පැමිණිලි කිරීමට හැකියාව ඇත.  වියදම් ලේඛනයේ අදාල වියදම සටහන්ව ඇති දැයි පරීක්ෂා කිරීමට එමගින් අවස්ථාව ඇත.

පනතේ 5 (1) (2) වගන්ති අනුව ආධාර/අරමුදල් ලබාගත නොහැකි නැත් ලෙස රජයේ දෙපාර්තමේන්තු/සංස්ථා, විදේශීය රාජ්‍ය, සංවිධාන, විදේශීය ලියාපදිංචි ආයතන, 50%කට වැඩි විදේශීය කොටස් හිමි සමාගම්, අනන්‍යතාවය හෙළි නොකළ තැනැත්තන්, මගින් ආධාර පරිත්‍යාග භාර නොගත යුතුය. (වෙනත් වචනයෙන් කිවහොත් නාම යෝජනා භාරදීමෙන් පසුව රට රාජ්‍යවලින් මුදල් ගෙන්වා ගත නොහැකිය)

අද වන විට දිස්ත්‍රික් මට්ටමේ රැළියට රු. මිලියන 5 ක් පමණ ද, ආසන මට්ටමේ රැළියකට රු. මිලියන 2 ක් පමණ ද, අවශ්‍යය. ලක්ෂයකට අඩුවෙන් කණ්ඩායම් රැස්වීමක් සිදු කිරීමට පහසු නැත.   2004 මහා මැතිවරණයට ජනමාධ්‍ය දැන්වීම් සඳහා පමණක් එජාපය රු. බිලියන 4 ක් ද, එජනිස රු. බිලියන 1.9 ක් ද වැය කර තිබුණි.  අද එහි වානිජ්‍ය වටිනාකම රු. බිලියන 30 කට ආසන්න වේ. මෙවර වැඩිය වියදම ඩිජිටල් දැන්වීම්, සජීවි විකාශන සඳහා දැරීමට සිදු වනු ඇත.

මැතිවරණ කොමිසම වෙත බාර දෙනු ලබන ලේඛන, බිල්පත් පසු අවස්ථාවක දී මහජනතාවට පරීක්ෂා කර බැලීමේ අවස්ථාව හිමිවේ.  අවශ්‍ය නම්, ප්‍රධාන දේශපාලන පක්ෂවෙත යම් පරිත්‍යාගයක් කර එයට කුවිතාංසියක් ලබාගෙන ඔවුන් එය විධිමත්ව ගිණුම්ගත කරන්නේ දැයි පරීක්ෂා කිරීමට පුරවැසියන්ට හැකියාව ඇත. එසේ නොවන විට, එ් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ද, මැතිවරණ පෙත්සමක් සඳහා පාදක කර ගත හැකි ය.

ජනාධිපතිවරණයකටත් වඩා, පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ඡන්ද විමසීම්වල දී මැතිවරණ වියදම් පනත ඡන්ද පෙත්සම් සඳහා හේතුවක් වනු ඇත. ජනාධිපතිවරණයක වැඩිම වියදම විද්‍යුත් මාධ්‍ය ප්‍රචාරය සඳහා වේ.  විද්‍යුත් මාධ්‍ය එකම ගුවන්කාලය විවිධි පක්ෂවලට විවිධ මිල ගණන්වලට අලෙවි කරති. (විනාඩියකට ගුවන් කාලයක් එක් පක්ෂයකට රුපියලකට ද, තවත් පක්ෂයකට රු. දහසකට ද අලෙවි වේ) මැතිවරණ කොමිසම මේ මිල ගණන් පූර්ව මැතිවරණ සමයේ දී ලිඛිත ලබාගත නොහැකි නම්, මේ පනත මැතිවරණ ක්‍රියාවලියට අදාළව ‘වංචනික වියදම් කළමනාකරණයේ‘ අත් පොතක් බවට පත් වනු ඇත.

අනෙක් අතට, ෆේස් බුක්, යූ ටියුබ්, බොටිම් ආදී, සමාජ මාධ්‍ය රජය ඉල්ලා සිටින විට දැන්වීම් වියදම් ලබා දෙන්නේ නැත.  (මැතිවරණ කොමිසම ඉල්ලා සිටින්නේ නම්, ඔවුන් එය ලබා දෙන්නේ දැයි පරීක්ෂා කර බැලිය හැකිය.)

මේ පනතේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි විධිවිධාන හතලිහකට වැඩිය සොයා ගත හැකිය. අනෙක් අතට, අපේක්ෂකයෙකු අමාරුවේ දැමීමට හැකි මාවත් ද දුසිම් දෙකකට වඩා ඇත. මැතිවරණ වියදම් පනත සම්මත කර ගනු ලැබූවේ වත්මන් පාර්ලිමේන්තුවයි.  වසනාවකට හෝ අවසානාවකට එය පළමුවරට පරීක්ෂාවට ලක් වන්නේ ද, ඔවුන් සියලු දෙනා ක්‍රියාකාරීවන ඉදිරි මැතිවරණයේ දී ය.  මැතිවරණ වියදම් පනත මගින් සැබවිටම සිදුවන්නේ පශ්චාත් මැතිවරණ පරීක්ෂණයකි.  එය සැලසුම් සහගතව පරීක්ෂාවට ලක්කිරීමට පුරවැසියන් සිවිල් සංවිධාන ඉදිරිපත් විය යුතුමය.  ඉදිරි ජනාධිපතිවරණය/පාර්ලිමේන්තු මැතිවරණය එයට කදිම අවස්ථාවකි.

රජිත් කීර්ති තෙන්නකෝන්  

 

Related Posts