ජනපති බැන්කි මූන් හමුවේ

Spread the love

නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන් ගේ මූලස්ථානයේදී පසුගිය දා (24 සැප්.) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතා හමුවූ අවස්ථාවේදී ජනාධිපති රාජපක්ෂ මහතා කියා සිටියේ උතුරේ යළි පදිංචි කිරීම් බොහෝ දුරට අවසන් කර ඇති බවත් මේ වසර අවසන් වීමට පෙර ඉතිරි අයද යළි පදිංචි කොට අවසන් කරන බවත්ය.
එමෙන්ම දරුස්මාන් උපදේශක කමිටුව පත් කළේ තමන්ට උපදෙස් ලබා ගැනීමට පමණක් බවට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතා මීට වසරකට ඉහතදී කළ ප්‍රකාශය ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මූන් මහතාට සිහිපත් කළේයේ.
එම හමුව පැය බාගයක් පමණ පැවැත්විණි. උපදෙස් ලබා ගැනීමට මිස වෙනත් කිසිම පරීක්ෂණ කටයුත්තක් සඳහා දරුස්මාන් වාර්තාව යොදා නොගන්නා බවට බෑන් කී මූන් මහතා දුන් ප්‍රතිඥාව සනාථ කිරීමට පැරැණි සටහන් ද ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය නායකයා පියවර ගත්තේ ය.
උතුරේ හමුදාවේ ශක්තිය ගැන විමසූ අවස්ථාවේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉතා පැහැදිලිව ප්‍රකාශ කර සිටියේ දැනට උතුරේ යොදවා සිටින හමුදාව සංවර්ධන වැඩවලට යොදවා ඇති බවයි. උතුරේ පමණක් නොව දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ආරක්ෂක කටයුතුවලට අමතරව රට සංවර්ධනය කිරීමේ ක්‍රියාදාමයේ ආරක්ෂක හමුදාව නියැළී සිටින බව ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.
ත්‍රස්තවාදී පනත යළි ක්‍රියාත්මක කරන බවට පළවී ඇති වාර්තා ගැන බෑන් කී මූන් මහතා විමසූ අවස්ථාවේ දී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ තමන් කිසිම දිනක ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදයට හිස එසවීමට ඉඩ නොදෙන බවයි.
මෙහිදී ජගත් මහලේකම් වරයා අවධාරණය කර ඇත්තේ යුද්ධයේ අවසන් සමයේ සිදුවූ බවට පැවසෙන අපරාධ සම්බන්ධයෙන් ජාතික වශයෙන් වගකීමේභාවය සහතික කරන බවට වන පිළිගතහැකි ක‍්‍රමවේදයක් අවශ්‍ය බවත් යුද්ධය අවසන් වීමෙන් පසුව තමන් හා ජනාධිපතිවරයා 2009 මැයි මාසයේදී අත්සන් කල ඒකාබද්ධ නිවේදනයෙහි එවැනි කි‍්‍රයාවලියක අවශ්‍යතාව පෙන්වා දී ඇති බවත්ය.

මේ ද්විපාර්ශ්වීය සාකච්ඡාවලට විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්, එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත පාලිත කොහොන සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරු සහභාගී වී සිටියහ.

RSL

Related Posts