නිවේදනයක් නිකුත් කරමින් අගමැති දි. මු. ජයරත්න මහතා පවසන්නේ මැතිවරණයෙන් එජනිසය ලැබූ විජයග්‍රහණයෙන් පෙන්නුම් කරන්නේ රජයේ සංවර්ධන ක්‍රියාදාමය කෙරෙහි ජනතාව දක්වන විශ්වාසය බවයි.
අගමැතිවරයා එම නිවේදනයේ මෙසේ තවදුරටත් සඳහන් කරයි.
වසර පනස් අටකට පසු මහනුවර මහ නගර සභාවේ පාලන බලය ද එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබී තිබේ. මේ ඓතිහාසික මොහොතේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස එම ආඩම්බරය භුක්ති විඳින ලෙස සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිමි.
අනුරාධපුර, නුවරඑළිය, හම්බන්තොට, කුණ්ඩසාලේ වැනි පළාත් පාලන ආයතන විශාල ඡන්ද සංඛ්‍යාවකින් අප රජයට බලය ලබා දී ඇත. මේ ජයග්‍රාහී අවස්ථාවේ කනගාටුදායක සිද්ධියක් ඇති වී තිබෙන නමුදු ඉන් ජනතාවටත්, අපටත් ගම්‍ය වන්නේ පවතින ඡන්ද ක්‍රමයේ දුර්වලතා හා මනාප පොරයේ අනිසි ප්‍රතිඵලම මිස අන් කිසිවක් නොවේ.
මහින්ද චින්තන ඉදිරි දැක්මෙහි සඳහන් යෝධ සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාවට නැංවීම සඳහා ජනවරමක් ලැබී තිබේ. ඉදිරියේදී අස්වනු උදාවනු ඇත්තේ ඒ ස්වර්ණමය යුගයේ රන් අස්වනු නෙලන කාල වකවානුවයි.
ජයග්‍රහණය මෙන්ම පරාජයත් මැදහත් සිතින් විඳදරා ගන්නා අතරම පළිගැනීම හා වෛරය වෙනුවට කරුණාව හා දයාව පෙරදැරිව කටයුතු කළ යුතුයි. තම පළාත් පාලන බල ප්‍රදේශ සංවර්ධන කටයුතු සඳහා ප්‍රමුඛතාවය ලබා දෙමින් ජනතා සේවයට කැපවීමට පක්‍ෂ විපක්‍ෂ නව සභිකයන් සියලු දෙනාම අදිටන් කර ගත යුතුය.