කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීමට අදාළ කටයුතු වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

Spread the love

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (අප්‍රේල් 7 වැනිදා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඊට අමතරව අමතරව හාරිස්පත්තුව, පන්විල, පාතදුම්බර, උඩ පළාත, කුලියාපිටිය යන ප්‍රාදේශීය සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින්ද අධිකරණ නියෝග නිකුත් කර තිබේ.

සිය නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් කීපයක් ඉදිරිපත් කළ රිට් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරන ලදි.

මෙම තීරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අදිකරණය හමුවේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ සියලු කටයුතු සූදානම් කර තිබෙන බවත් එය කල්දැමීම තුළින් රජයට මූල්‍යමය වශයෙන් විශාල හානියක් සිදුවන බව පෙන්වා දුන්නේ ය.

එම අවස්ථාවේදී අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් සඳහන් කළේ මෙම පෙත්සම කඩිනමින් විභාග කොට තීන්දුවක් ලබාදීමට සූදානම් බවයි.

මෙම පෙත්සම්වලට අදාළ විරෝධතා ඔබ හෙට දින ගොනු කරන්නේ නම් මෙම නිවාඩු කාලය තුළ පෙත්සම විභාග කොට තීන්දුව ලබාදීමට අධිකරණය සූදානම් බවත් ඔහු පැවසීය.

එම අවස්ථාවේදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ විරෝධතා ගොනු කිරීම සඳහා තමන්ට සති තුනක කාලයක් ලබාදන ලෙසයි.

ඒ අනුව මෙම පෙත්සම්වලට අදාළ විරෝධතා මැයි 05 වැනිදාට පෙර ගොනුකරන ලෙස විනිසුරු මඩුල්ල නියෝග කළේය.

ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා මැයි මස 07 වැනිදාට පෙර ගොනුකරන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවයට නියම කරන ලදි.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය මැයි මස 16 වැනිදා පැවැත්වීමටද නියම කෙරුණි.

නියමිත කාල සීමාව තුළ අදාළ නාමයෝජනා භාර නොදුන් බවට චෝදනා කරමින් නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරීන් ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.

මේ අතර උප්පැන්න සහතික සාම විනිසුරුවරයා විසින් සහතික කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත්වන උප ලේඛනය යටතේ සිදු කළ යුතු දිවුරුම විධිමත්ව සිදු නොකිරීම යන කරුණු මත ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර 53 ක් යලි භාරගන්නා ලෙස අදාළ තේරීම් භාර නිලධාරින් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අලුතින් ගොනු කෙරුණු පෙත්සම් ද සලකා බැලීම සඳහා අභියාචනාධීකරණය හමුවේ අද කැඳවනු ලැබිණි.

Related Posts