කොවිඩ් 19 වසංගතය හමුවේ ශක්තිමත්ව නැගී සිටින්නට ව්‍යාපාරිකයන්ට රජයෙන් ක්‍රියාමාර්ග රැසක්

Spread the love

කොවිඩ් -19 වසංගත තත්වය හමුවේ ක්ෂුද්‍ර, සුළු  හා මධ්‍ය පරිමාණ  ව්‍යාපාරිකයන්ට සිය කටයුතු යළි ශක්තිමත් ව නගාසිටුවීම සඳහා සිය රජය විසින් ක්‍රියාමාර්ග රැසක්  ගෙන තිබෙන බව අද (10) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය .

ඒ  අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසීමේ අවස්ථාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෝකිලා හර්ෂණී ගුණවර්ධන මහත්මිය විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි .

අග්‍රාමාත්‍යවරයාගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගරු කෝකිලා හර්ෂණී ගුණවර්ධන මහත්මිය විමසූ සෙසු ප්‍රශ්න සඳහා අග්‍රාමාත්‍යවරයාගේ අවසරය මත පිළිතුරු ලබා දීමට එක් වූ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියාසිටියේ එම ව්‍යාපාර සඳහා  ආර්ථික උත්තේජන පැකේජයක් හඳුන්වා දීම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ණය සහන පැකේජයක් හඳුන්වා දීම, අක්‍රීය ගණයේ පැවති ණය පහසුකම් පොලි සහනයක් සහිතව  ප්‍රති- ලේඛනගත කිරීම, සක්‍රීය ගණයේ පැවති ණය සඳහා  අලුතින් ණය ලබා ලබාදීම, මෙම ව්‍යාපාර සඳහා වන  ණය සදහා පොලී අනුපාතය 8%-9% මට්ටමේ රඳවා ගැනීම ,ආනයනික සීමා හදුන්වා දී මෙරට ව්‍යවසායක ආරක්ෂා කර ගැනීම   රජය විසින් ගත් පියවරවලින් කිහිපයක් බවයි .

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අනුව, විශේෂයෙන්ම කොවිඩ්- 19 වසංගත තත්ත්වය යටතේ දුෂ්කරතාවයට පත් වූ සුළු හා මධ්‍ය පරිමාණ  ව්‍යාපාරිකයන්  සඳහා  බැංකු මඟින් ණය සහන ලබාදීම , සෞභාග්‍යා කොවිඩ්- 19  යළි නගා සිටුවීමේ පහසුකම යටතේ රුපියල් බිලියන 150ක්  ඔවුන්ගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීමට වෙන්කර ඇත .මෙම ව්‍යවසායකයින් සඳහා ණය පමා සහන වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරේ .

එමෙන්ම ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය මුල්‍ය ආධාර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 165ක්  ක්ෂුද්‍ර , සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සහ කුඩා තේ වතු හිමියන් නගාසිටුවීමට මේ වන විට ලබා දී ඇත .

ඊට අමතරව,2019/2020 මහ කන්නය හා 2020 යල කන්නයේදී දිසාපතිවරුන් මඟින්  සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් හරහා රජය වී මිලදී ගැනීම් වැඩසටහන ක්‍රියාත්මක වූ අතර  අවශ්‍ය ණය පහසුකම් රාජ්‍ය බැංකු හරහා ලබා දීමට කටයුතු  කර තිබිණි. මීට අමතරව සූර්ය බලය මඟින් විදුලිය උත්පාදනය කිරීමේ ව්‍යාපෘතිය ,කිරි ශක්ති සහනදායි ණය යෝජනා ක්‍රමය , තුරුණු දිරිය සහනදායි ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වෙමින් පවතින බවද රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය .

ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට හසුවූ 90%ක්  කාන්තාවන්

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ සිය රජය ව්‍යවසායකයන්ට මෙන්ම ක්ෂුද්‍ර මූල්‍ය ණය  පහසුකම් ලබාගැනීමෙන් අසීරුතාවයට පත්ව සිටින  ග්‍රාමීය ජනතාවටද කඩිනම් සහන ලබාදීමට කටයුතු කරන බව අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ  අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසීමේ අවස්ථාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෝකිලා හර්ෂණී ගුණවර්ධන මහත්මිය විසින් ග්‍රාමීය ජනතාව සහ විශේෂයෙන් කාන්තාවන්  ක්ෂුද්‍ර මූල්‍ය   ආයතන ණය පහසුකම් නිසා පත්ව තිබෙන ගැටලු සහගත තත්ත්වය සම්බන්ධව ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි .

මෙහිදී රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කර සිටියේ, ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට හසුව සිටින 90%ක් කාන්තාවන් බවද ඒ නිසා ඔවුන් අතර මූල්‍ය සාක්ෂරතාව ඇති කිරීමට  කලාපීය වශයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් දැනටමත්  අනුරාධපුරයෙන් ආරම්භ කර ඇති බවයි. ඔවුන්ගේ හදිසි ණය අවශ්‍යතාවන් සපුරාගැනීම සඳහා ප්‍රජා මූල සංවිධානවලට ලක්ෂ 03ක් ලබාදී එය කළමනාකරණය සඳහා රජය පියවර ගනිමින්  සිටින බවද පැවසීය. 

මෙහිදී මන්ත්‍රීවරිය විමසූ ප්‍රශ්නයට අග්‍රාමාත්‍යවරයාගේ අවසරය මත පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් කියා සිටියේ, 2016 අංක 6 දරණ ක්ෂුද්‍ර මූල්‍ය පනතේ අඩුපාඩු රැසක් ඇති බව ය.  අදාළ මූල්‍ය ආයතන නිසි පරිදි නියාමනය කිරීමට  කෙටුම්පත් කරන ලද ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත  නීති කෙටුම්පත්  සම්පාදකගේ එකඟතාවය ලබා ගැනීම සඳහා දැනටමත් යොමුකර ඇති බවයි. 

RSL

Related Posts