කෘෂිකර්ම රාජ්‍ය ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ කෘෂිකර්මාන්තයේ ගැටලු සහ ප්‍රවණතා ගැන විශේෂ හෙළිදරව්ව

සෞභාග්‍යයේ දැක්ම තුළින් දේශීය ආර්ථිකය නඟාසිටුවීමට සහ දේශීය ගොවියා ශක්තිමත් කිරීමට රජය ගෙනයන වැඩපිළිවෙළ ජයගැනීමට ඇති ඉලක්ක සහ අභියෝග පිළිබඳව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා දිනමිණ සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාවකි මේ.

  •  බීජ ගම්මාන ඇති කරලා බීජ ගැටලුව විසඳනවා
  • – වගා කිරීමට සුදුසු ස්ථාන තෝරාගෙන වගා කරනවා
  • – අතිරික්තයක් තුළින් තමයි මිල පාලනය කරන්න පුළුවන්
  • – කාලසටහනකට අනුව බෝග වගා කළ යුතුයි
  • – පලතුරු විදේශ රටවලට යැවීමෙන් හොඳ ආදායමක් උපයා ගැනීමට පුළුවන්

කෘෂිකර්ම අමාත්‍යාංශය විශාල වපසරියක් ඇති අමාත්‍යාංශයක් වර්තමාන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයට පැවරී තිබෙන කාර්යභාරය ගැන සඳහන් කළොත් ?

කෘෂිකර්ම අමාත්‍යාංශය කියන්නේ දැවැන්ත කාර්යභාරයක් පැවරිලා තියෙන අමාත්‍යාංශයක්. අපට පැවරී තිබෙන ලොකුම කාර්යභාරය වෙලා තියෙන්නේ මෙරටට පිටරටින් ආනයනය කරන ප්‍රධාන ආහාර ද්‍රව්‍ය ටික නතර කිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම. මේ පිළිබඳ ජනාධිපතිතුමා අපෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා. ඒ අතරේ ලූනු, වියළි මිරිස් සහ අල පළමුවෙන්ම ගෙන්වීම නතර කරන්න. ඉස්සෙල්ලා අපිට තියෙන ගැටලු හඳුනාගන්න ඕන. මෙහිදී තිබෙන ප්‍රධානම ගැටලුව තමයි බීජවල තිබෙන ගැටලුව ඇත්තම කතාව කිව්වොත් බීජවල ගාන වැඩිවෙනකොට අපේ ගොවියෝ බීජ ටිකත් විකුණලා දානවා. ඊළඟ කන්නයේ වගා කරන්න බීජ නැහැ. කහවලට වෙලා තියෙන්නෙත් ඔය වගේ ගැටලුවක් තමයි. ඒ අනුව බීජ ගම්මාන ඇතිකරලා මේ ගැටලුව විසඳනවා විශේෂයෙන් මිරිස් ටික ‍ලූනු ටික තව අවුරුදු 2ක් යනකොට. අපට අවශ්‍ය බීජ ප්‍රමාණය දැනට 20%ක් විතරයි නිෂ්පාදනය වෙන්නේ.

ඊට පස්සේ හොඳට වගා කිරීමට සුදුසු ස්ථාන, තෝරාගෙන ඒ ස්ථානවල වගා කරනවා. අපි බීජවලින් ස්වයංපෝෂිත වුණාම අවුරුදු තුනක ඉලක්කගත වැඩපිළිවෙළක් ඇතිවුනාම ඉතිරි අවුරුදු හතර පහ යනවිට අපි සම්පූර්ණයෙන්ම වගා කරන ඕනකෙනෙකුට කරන්න පුළුවන්. දැනට පිටරටින් ගෙන්වීම තහනම් කරලා තිබෙන ධාන්‍ය වර්ගවලින් 16න් 13ක්ම අපේ අමාත්‍යාංශයට තමයි අයිති. තව වසර 2ක් යන විට නිෂ්පාදනය සම්පූර්ණ කිරීමෙන් ඒ ඉල්ලුම සපුරන්න අපට පුළුවන්. ඊළඟට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය වශයෙන් අපට පැවරිලා තියෙන එකක් තමයි මිල පාලනය කිරීම. මිල පාලනය කිරීමට තියෙන එකම විසඳුම තමයි සම්පූර්ණයෙන්ම නොනවත්වා වගා කිරීම. අතිරික්තයක් තුළින් තමයි මිල පාලනය කරන්න පුළුවන් වෙන්නේ.

මේ තරම් වී වගා කරද්දී මිල පාලනය කරන්න බැරි ඇයි?

ඒක ලොකු දිග කතාවක්. ඒකට අනුව තමයි අපි වී අලෙවි මණ්ඩලය ගොවිජනසේවා දෙපාර්තමේන්තුව හරහා වී මිලදී ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළේ. පළමු වෙනි වතාවට ආර්ථික මධ්‍යස්ථාන ටිකත් කෘෂිකර්ම අමාත්‍යාංශයට දීලා තිබෙනවා. නැතිනම් මේ ආර්ථික මධ්‍යස්ථාන කලින් අයිති වෙලා තිබුණේ වෙළෙඳ අමාත්‍යාංශයට ඇයි අපිට මේ ආර්ථික මධ්‍යස්ථාන ලබාදුන්නේ. ආර්ථික මධ්‍යස්ථාන පිහිටුවීමේදී මූලිකම අරමුණ වෙලා තියෙන්නේ ගොවියාට තැනක් ලබා දීම. පාරිභෝගිකයාට මේ ටික විකුණ ගන්න. ගොවියා වගා කරනවා. හැබැයි පාරිභෝගිකයා කුඹුරට ගිහිල්ලා බැහැලා සල්ලි දීලා වී ටික මිලදී ගන්නේ නෑ. ඒ නිසා ඔහුට කඩයක් දෙනවා, කඩ දහයක් තිහක් හතළිහක් මේ විදිහට දෙනවා. හොඳම තැන්වල ආණ්ඩුව වියදම් කරලා කඩවල් හදලා දෙන වැඩපිළිවෙළක් තියෙනවා. ආර්ථික මධ්‍යස්ථානවලට සම්පූර්ණයෙන්ම ගොවි සංවිධාන හරහා එළවළු ටික ගෙනත් දෙන්න විධිමත් ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන් රත්මලාන, වැලිසර, නාරාහේන්පිට යන ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන තුන කේන්ද්‍ර කරගෙන ගොවියාගේ ඍජු දායකත්වය සහ අපේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන්ගේ ඍජු මැදිහත්වීම තුළින් එළවළු මිලදී ගැනීමේ සාර්ථක වැඩපිළිවෙළක් ආරම්භ කළා. කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන්ගේ ඍජු අධීක්ෂණය යටතේ මේ මිලදී ගැනීම් සිදුවෙනවා. වෙනත් කිසිම ආකාරයකින් මේ ස්ථානවල මිලදී ගැනීම් සිදුවෙන්නේ නැහැ. ඒ අනුව ගොවියා සහ පාරිභෝගිකයා අතර ඍජු සබඳතාවයක් ගොවි සංවිධාන සහ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරු හරහා ගොඩනඟා ගැනීමට පුළුවන් වෙලා තිබෙනවා. මේ අත්හදා බැලීම සාර්ථක වැඩපිළිවෙළක්. දැනට උඩරට එළවළු සඳහා මේ මිලදී ගැනීම් සිදුකරනවා. පසුව ක්‍රම ක්‍රමයෙන් අනිත් එළවළුවලටත් ඒ තත්ත්වය ලබා දෙනවා.

මේ වනවිට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය හරහා ‘සෞභාග්‍යයේ දැක්ම’ යථාර්ථයක් කිරීමට ගත් ප්‍රායෝගික වැඩපිළිවෙළ කුමක්ද?

පසුගිය කාලේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දැකපු ලොකුම දුර්වලකම වශයෙන් මේ මාස 5ක කාලය තුළ මම හඳුනාගත්තේ දත්තවල තිබෙන දුර්වලකමයි. කවුරුහරි ඇහුවොත් ගොවියෝ කවුද කියලා දන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් මගේ දිස්ත්‍රික්කය වන මොනරාගල දිස්ත්‍රික්කයේ වී ගොවියෝ කී දෙනෙක් ඉන්නවද? එළවළු ගොවියෝ කී දෙනෙක් ඉන්නවද. ඒ ගොවියෝ වගා කරන එළවළු මොනවද කියලා ඇහුවොත් කිසිකෙනෙකුට පිළිතුරක් දී ගන්න බැහැ. ඒ අනුව යල් පැනගිය දත්ත නැවත යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළා. ඒ අනුව දියුණු තාක්ෂණික ක්‍රමවේදයක් ලෙස මිලියන 200ක් වියදම් කරලා ඇප් එකක් හැදුවා. කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන්ට ටැබ් දීලා අලුතින් (system) දීලා යාවත්කාලීන කරලා තිබෙනවා. වගා කරන කුඹුරු ඉඩම් ඔක්කොම GPS කරලා ඒක ශක්තිමත් කරගෙන තිබෙනවා. ඒ අනුව කුඹුරේ සිට වෙළෙඳපොළ දක්වා ඒ කටයුත්ත විධිමත් අයුරින් එකම දම්වැලක පුරුක් මෙන් ජාලගත කරලා තිබෙනවා. මිරිස් අල, ලූනු විතරක් නෙවෙයි උදාහරණයක් ගත්තොත් බටු කොයි තරම් ප්‍රමාණයක් වගා කරනවද තුඹ කරවිල, බණ්ඩක්කා කොයිතරම් ප්‍රමාණයක්ද එතකොට අපි දැනගන්නවා දැනට මේ තරම් හෙක්ටෙයාර් ප්‍රමාණයක් අහවල් වගාව වගා කරලා තිබෙනවා. මේ තරම් මෙට්‍රික්ටොන් ප්‍රමාණයක අස්වැන්නක් තියෙනවා. ඒ අතරේ කෘමි උවදුරක් වෙන්න පුළුවන්. එතකොට අස්වැන්න මේ තරම් ප්‍රමාණයක් අඩු වෙනවා. ඒ අනුව කන්නයේ මැද හරියේදී අපිට තීරණය කරන්න පුළුවන් කොයිතරම් අතිරික්තයක් තියෙනවද? කොයි තරම් හිඟයක් තිබෙනවද කියලා පැහැදිලි නිගමනයකට එන්න පුළුවන් විධිමත් සංවිධානගත වැඩපිළිවෙළක් මේ වනවිට සකස් කරලා තිබෙනවා.

කිසියම් දිලීරයකින් හෝ කෘමි උවදුරකින් වගාවට හානියක් වුණොත් ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?

මීට අවුරුදු ගණනාවකට පෙර අර්තාපල් වගාවට දිලීරයක් ආවා. ඒ වෙලාවේදී මුළු නුවරඑළිය, වැලිමඩ, බණ්ඩාරවෙල තිබූ අල වගාවට හානි පැමිණුණා. නමුත් එවැනි අවස්ථාවලදී අර්තාපල් වෙනුවට තව ඕන තරම් ආදේශක තියෙනවා. බතල, ඉන්නල, මඤ්ඤොක්කා, කිරිඅල තියෙනවා. මේවා හොඳ දේශීය නිෂ්පාදන. මේවා ගොවියෝ වගා කරන්නේ නැහැ. අර්තාපල් එක කන්නයයි වගා කරන්න පුළුවන්. නමුත් දේශීය අලබතල වගා කරන්න පුළුවනි. අනෙක පාරිභෝගිකයා මේ දේශීය අලවර්ගවලට හරිම කැමැතියි. ඒ නිසා අර්තාපල් බලාගෙන ඉන්නවට වඩා පෝෂ්‍යදායක දේශීය අල බතල වර්ග වගා කිරීමට ගොවියා පෙලඹිය යුතුයි. ඒ සඳහා හොඳ වෙළෙඳපොළක් තිබෙනවා.

ඇතැම් කාලවලදී එලවළු වර්ග විකුණා ගැනීමට නොහැකිව ගොවියෝ අසරණ වෙනවා. මේ තත්ත්වය වෙනස් කර ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද?

නිසි කාල කළමනාකරණයකින් තොරව වගා කිරීම මේ ප්‍රශ්නයට හේතුවයි. බීජ අලෙවි කරන මුදලාලි තමයි තීරණය කරලා තියෙන්නේ මොනවද මේ කන්නයේ වගා කරන්න ඕන කියලා. මේ තත්ත්වය වෙනස් කරන්න ඕන. කුඹුරේ වක්කඩේ කඩන ගොවියාට වගේම ගොවියාගේ පුතාටත් හොඳ දැනුමක් තිබෙනවා. නමුත් ඔවුන්ට අවශ්‍ය මඟ පෙන්වීම ඔවුන් දිරිමත් කිරීම වගේම තාක්ෂණික දැනුම ලබාදීම මගේ වගකීමයි. ඒ වගකීම හරිහැටි ඉටුකිරීම මගේ මූලික අරමුණයි. මේ අමාත්‍යාංශය හොඳින් කළමනාකරණය කළොත් ඉන්දියාවේ බාගයකටත් කන්න දෙන්න පුළුවන්. හැබැයි ගොවියාව 100%ක් විශ්වාස කරන්න ඕන. තාක්ෂණය ගොවියා ළඟට රැගෙන යන්න පුළුවන්. හොඳම යාන්ත්‍රණය ගොවිජනසේවා දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන් හරහා තමයි.

වී ගැන පමණක් ‍ෙනාවේ සියලුම භවභෝග පිළිබඳව ගොවියා දැනුම්වත් කිරීම ඔවුන්ගේ රාජකාරිය. කෘෂිකර්ම පර්යේෂණ සහකාරවරුන්ට දැනුම දෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවයි. ගොවිජනසේවා දෙපාර්තමේන්තුවයි. දෙපාර්තමේන්තු දෙකක්. මේ දෙගොල්ලෝ ජීවිතයට එකතු වෙන්නේ නැහැ. කොහෝම හරි මේ දෙගොල්ලෝම යාළුකරන්න ඕන. එක කණ්ඩායමක් හිතනවා මේ වැඩේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩක් කියලා. තවත් කණ්ඩායමක් හිතනවා. මේක ගොවිජනසේවා දෙපාර්තමේන්තුවේ වැඩක් කියලා. එක ඒ.අයි. මහත්තයෙක් විතරයි ගොවි ජනසේවා දෙපාර්තමේන්තු කාර්යාලයකට ඉන්නේ. ඒ අයි. මහත්තයාට දෙතුන්දාහක් ඉන්න ගොවියෝ ළඟට යන්න වසරක් විතර ගතවෙන්න පුළුවන්. නමුත් කෘෂිකර්ම පර්යේෂණ සහකාරවරුන් ඉන්නවා 11,000කට කිට්ටු වෙන්න. 6000ක විතර අඩුවක් තිබෙනවා. සෑම ග්‍රාමසේවා වසමකටම එක කෘෂිකර්ම පර්යේෂණ සහකාරවරයෙක් ඉන්නවා. උතුරු නැගෙනහිර පළාතේ ලොකු අඩුවක් තියෙනවා. අපි ඒවාට ගොවිජනසේවා මධ්‍යස්ථානත් හදලත්, ඒවා ශක්තිමත් කරලත් තියෙනවා. මෙවර ලොකුම අස්වැන්න උතුරු නැගෙනහිරින් අපිට ලැබෙනවා. 75%ක යාන්ත්‍රණය ක්‍රියාත්මක නොකළොත් වැඩක් නැහැ. ඒවගේම නිසි කළමනාකරණයක් අවශ්‍යයි. අපේ කෘෂිකර්ම අමාත්‍යාංශයට ආයතන 27ක් තියෙනවා. නිසි අයුරින් වගා කරන්න පර්යේෂණ කරන්න ආයතන තිබෙනවා. ගොවියා ගාවට දැනුම අරන් යන්න දෙපාර්තමේන්තු තියෙනවා. ගොවියා ගාවට යන්නේ ගොවිජනසේවා දෙපාර්තමේන්තුව. ඊළඟට පසු අස්වනු තාක්ෂණික දෙපාර්තමේන්තුව තිබෙනවා. ඒවාට තාක්ෂණය දෙන්න නව තාක්ෂණික දෙපාර්තමේන්තු තිබෙනවා. සියල්ල තිබෙනවා. මේවා අතරේ අන්තර් සම්බන්ධතාවයක් ගොඩනගන්න මේ ආයතන සියල්ලෙන්ම වෙන්න ඕන කාර්යභාරය කියලා මම හිතනවා.

අපේ රටේ පලතුරුවලට ලෝකයේ හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒවා පිටරටවලට අපනයනය කරන්න රජයේ වැඩපිළිවෙළක් නැද්ද? 

තිබෙනවා. හැබැයි සමහරු හිතාගෙන ඉන්නවා අපි වගා කරන සෑම පලතුරක්ම පිටරට යවන්න පුළුවන් කියලා. නමුත් එහෙම කරන්න බැහැ. ඒගොල්ලෝ ඉල්ලන ප්‍රමිතියක් තියෙනවා (Quality) ඒ ගොල්ලෝ ඉල්ලන ප්‍රමාණයක් තියෙනවා. ඒවා අපි හඳුනාගෙන තිබෙනවා. ලෝක බැංකු ආධාර යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා අපි ලොකු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. මේ වනවිට අපි ගම්මාන තෝරාගෙන තිබෙනවා. ඒ තෝරාගත් ගම්මානවල පස, පොළොව මේ සියලු කාරණා සැලකිල්ලට අරගෙන. මේ වනවිට එවැනි ගම්මාන 27ක් අපි හඳුනාගෙන තිබෙනවා. දිස්ත්‍රික් 7ක මෙවැනි ඉඩම් තෝරාගෙන නිසි ප්‍රමිතියට අනුව පලතුරු වගාව කිරීම ක්‍රමවත් ව හා විධිමත්ව සිදුකිරීම අපේ අරමුණයි. පොන්ජව්සි අඹ, මුරුගන් අන්නාසි, ෆැෂන් පෘට් කැවන්සිස් කෙසෙල් වැනි විදේශීය රටවල ජනතාවගේ ඉල්ලුම තිබෙන පලතුරුවලට වැඩි ඉඩකඩක් ලබාදෙනවා. නිසි ප්‍රමිතියෙන් යුතුව ජාත්‍යන්තර වෙළෙඳපොළේ තිබෙන නියාමනයන්වලට ගැළපෙන අයුරින් මනා සකසුරුවමින් යුතුව වෙළෙඳපොළට යැවීමෙන් තත්ත්වයෙන් ගුණාත්මක බවින් ඉහළ ප්‍රමිතියෙන් යුතුව පලතුරු විදේශ රටවල්වලට යැවීමෙන් හොඳ ආදායමක් උපයා ගැනීමට පුළුවන්. ඒ ඉලක්ක ජය ගැනීම අපේ අරමුණයි.

මේ දිනවල පවතින සහල් මිල වැඩි වීම ගැන කතා කළොත්?

මේ මුළු රටේම ලොකු සහල් මාෆියාවක් තිබෙනවා. ඒ මාෆියාවට ඕනතරම් සල්ලි තියෙනවා. ඒ වගේම සල්ලි වියදම් කරනවා. මේ සහල් මාෆියාවට ඕන තමන්ට ඕන ඕන විදිහට හාල් විකුණන්න පාලනය අතට ගන්න. රජය මොකද කරන්නේ එහෙම හාල් මිල පාලනය අතට ගන්න යාන්ත්‍රණයට තහංචි දානවා. නීතියෙන් පාලන මිලක් දානවා නීතිය ක්‍රියාත්මක කරනවා දඩ ගහනවා. අත්අඩංගුවට ගන්නවා. නමුත් ඉතිහාසය පුරාම මේ වැඩේ කෙරුණද නැහැ.

අපේ රටේ ප්‍රධාන මෝල් හිමියෝ කීපදෙනෙක් ඔවුන්ගේ විශාල ගබඩාවල අස්වැන්න ගබඩා කරගන්නවා. විශේෂයෙන් අස්වැන්න හිඟ කාලවලට මේගොල්ලෝ තමන්ට හිතෙන හිතෙන විදිහට සිය ගබඩාවලින් මිල එන කාලයට සහල් වෙළෙඳපොළට දානවා. ආණ්ඩුවට ඒක කරන්න පුළුවන්ද?

ආණ්ඩුවට ඒක කරන්න බැහැ. ගොවිජන සේවා දෙපාර්තමේන්ත්‍රවේ කෘෂිකර්ම නිෂ්පාදන සහකාරවරුන් හොඳින් දන්නවා මේ රටේ ගොවියෝ කොයිතරම් ප්‍රමාණයක් ඉන්නවද කියලා. වී ගොවියෝ දශලක්ෂ හතළිස් එක් දහස් නවසිය විසි තුන් දෙනෙක් ඉන්නවා. මේ දශලක්ෂ හතළිස් එක්දහස් නවසිය විසි තුනෙන් හෙක්ටයාරයකට වැඩියෙන් හෙක්ටයාර දෙකකට වඩා අඩුවෙන් පොහොර සහනාධාරය ගන්න ගොවියෝ ඔක්කොම ඉන්නේ දෙලක්ෂ හැට හය දහස් දෙසිය අනූ එකක් පමණයි. මේ දෙලක්ෂ හැටහය දහස් දෙසිය අනූ එක් දෙනාගෙන් සම්පූර්ණ සමස්තය වී වගා කරන අය ඉන්නේ 27%යි. ඒ 27%න් සම්පූර්ණ අස්වැන්නෙන් 10%ක් අපිට පාලන මිල රුපියල් 50ට වී අලෙවි මණ්ඩලය හරහා අපි මිලදී ගන්නවා. මෙට්‍රික්ටොන් ලක්ෂ 30ක් 32ක් වගේ ප්‍රමාණයක් අස්වැන්න මෙවර ලැබේවි. ඉතිහාසයේ පළමුවැනි වතාවට ලැබෙන දැවැන්ත ප්‍රමාණය මේ තමයි. මේ අස්වැන්නෙන් මෙට්‍රික්ටොන් ලක්ෂ 3ක් අපි ගබඩා කරනවා. ගබඩා කරලා අර ව්‍යාපාරිකයෝ කරන වැඩේම අපි කරනවා. මේ වනවිට කුඩා මොල් හිමියන් 483ක් සක්‍රීයව මේ ක්ෂේත්‍රයේ ඉන්නවා. ඒ අය හරහා සතොසටත් සමුපකාර පද්ධතියටත් දහහත් ලක්ෂයක් ඉන්න සමෘද්ධි ලාභීන්ටද සල්ලිවලින් නැතුව සහල්වලින් දීමට අපි බලාපොරොත්තු වෙනවා. එතකොට පාලන මිල අපේ අතට ඇවිල්ලා මේ ආකාරයට පුළුවන් සහල් මාෆියාව පාලනය කරන්න. ඔන්න ඕක තමයි සහල් මාෆියාව වෙනුවෙන් අපි ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ.

මහින්ද ආරියවංශ  – දිනමිණ ඇසුරිණි

Loading...

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *