කෘෂිකර්ම ඇමති නිලධාරීන්ගෙන් කළ විශේෂ ඉල්ලීම

Spread the love

කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති රාජ්‍ය අමාත්‍යාංශවලට අයත් ආයතනවල මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.කෘෂිකර්මයට සම්බන්ධ ප්‍රධාන ආයතන 10ක, 2021 වර්ෂයේ ක්‍රියාත්මක වැඩපිළිවෙලේ ප්‍රගතිය මෙහිදී සාකච්ඡා කළා.

රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මහතා,කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා ,රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරුන් අදාළ ආයතනවල ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් මීට එක්වුණා.

සෑම මසකම පළමු බදාදා මාසික ප්‍රගති සමාලෝචනය සිදුකරනවා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, වී අලෙවි මණ්ඩලය, ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය, ජාතික පොහොර ලේකම් කාර්යාලය, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනය, කුඩා වතු හිමියන්ගේ කෘෂි හවුල්කාරිත්ව වැඩසටහන (SAPP), කෘෂිකාර්මික අංශ නවීකරණය කිරිමේ ව්‍යාපෘතිය, දේශගුණ සුහුරු වාරි ව්‍යාපෘතිය, ආර්ථික මධ්‍යස්ථාන යන ආයතනවල ප්‍රගතිය පිළිබඳව මෙහිදී සමාලෝචනය කළා.            

බෝග 16කින් රට ස්වයංපෝෂිත කිරීමේ ජාතික ක්‍රියාන්විතයට මුල්තැන දෙමින් කාර්යක්ෂමව කටයුතු කරන ලෙස මෙහිදී කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා උපදෙස් දුන්නා.

අර්තාපල්, මිරිස්, ළූණු යන බෝග සදහා විදේශයන්ට ඇදීයන මහා ධනස්කන්ධය රටට ඉතිරිකර ගොවියාත් පාරිභෝගිකයාත් රැක ගැනීමට සියලු ආයතන එකට එක්ව සම්බන්ධීකරණයෙන් ක්‍රියා කළයුතු බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

රටට අවශ්‍ය බීජ අර්තාපල්, බීජ මිරිස්, නිෂ්පාදනයට ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රායෝගිකව මෙන්ම අපේක්ෂිත ඉලක්කයන් කරා මෙහෙයවිය යුතු බවයි, අදාළ නිලධාරීන්ට අමාත්‍යවරයා කියා සිටියේ.

මෙරටට අවශ්‍ය ළූණු අවශ්‍යතාවයෙන් 22%ක් මෙරට නිෂ්පාදනය කෙරෙන අතර ඉතිරි ප්‍රමාණය ආනයනය කෙරෙන අතර ඒසඳහා වාර්ෂිකව බිලියන 12-15ත් අතර මුදලක් වැය කෙරෙනවා.ඒ අනුව 2021දී 35%ක් , 2022දි 45%ක්, 2023දි 60%ක් ලෙස ක්‍රමක්‍රමයෙන් ළූණු නිෂ්පාදනය ඉහළ දැමීම ඉලක්කයයි.

විශේෂයෙන් නිවැරදි සංඛ්‍යාලේඛන, නිවැරදි දත්ත, නිවැරදි තොරතුරු මත පදනම්ව සියලු ආයතන ක්‍රියාත්මකවීමේ අවශ්‍යතාව අමාත්‍යවරයාමෙහිදී අවධාරණය කළා.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක විදේශ ණය ආධාර ව්‍යාපෘතිවල නිසි ප්‍රයෝජන ගනිමින් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟන ගමනට දියහැකි සියලු සහාය කාර්යක්ෂම ලබාදෙන ලෙස අමාත්‍යවරයා මෙහිදී සියලු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.

ප්‍රවාහනයේදි සහ වන සත්ත්ව උවදුරුවලින් සිදුවන අස්වනු හානිය වැලැක්වීමට විධිමත් ක්‍රමවේදයක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසද අමාත්‍යවරයා දැනුම් දුන්නා.

ඉතිහාසයේ වැඩිම මුදලක් වී මිලදී ගැනීමට වෙන්කර ඇත්තේ මෙවරයි. එය අවබෝධයෙන් වී මිලදී ගැනීමේ ජාතික ක්‍රියාන්විතයට සාර්ථකව මුහුණ දීමට සියලු සහාය සියලු ආයතන ලබාදිය යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

පොහොර බෙදාදීමේ ක්‍රමවේදයක්, කාබනික පොහොර නිෂ්පාදනය හා ප්‍රවර්ධනය මෙන්ම පස පරීක්ෂා කොට පොහොර බෙදාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගොවියා අපහසුතාවයට පත් නොකර ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසත් කලට වෙලාවට ගොවි බිමට පොහොර බෙදාහැරීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දුන්නා.

සියලු ආයතන ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළේ ප්‍රගතිය පිළිබඳව මාසික සමාලෝචනයේදි කරුණු ඉදිරිපත් කළයුතු අතර එය ප්‍රායෝගිකව මහ පොළොවේ යථාර්ථයක් වියයුතු බවයි, අමාත්‍යවරයා අවධාරණය කළේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය ඇසුරිණි

RSL

Related Posts