කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය

Spread the love

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ලබාදෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යෝකෝයාමා (Kenichi Yokoyama) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පවසයි.

මෙරට ව්‍යාපෘති වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව පසුගිය වසරේ දී ඩොලර් මිලියන 750ක සහනදායී ණය මුදලක් ලබා දී තිබේ. එම මුදල ලබන වසරේ දී ඩොලර් බිලියනයක් දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බව  කෙනිචි යෝකෝයාමා මහතා සඳහන් කළේය.

අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා සමග පැවති හමුවේ දී ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසීය.

කොවිඩ් එන්නත්කරණය සම්බන්ධයෙන් අත්කර ගෙන ඇති සාර්ථකත්වය තුළින් අභියෝග හමුවේ ජයගැනීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව මැනවින් පෙන්නුම් කරන බව කෙනිචි යෝකෝයාමා මහතා සඳහන් කරනු ලැබීය.

සමස්ත රාජ්‍ය සේවාවත් සෞඛ්‍ය සහ ආරක්ෂක අංශත් එක්ව ක්‍රියා කිරීමෙන් එන්නත්කරණ වැඩපිළිවෙළ සහ කොවිඩ් මර්දන ක්‍රියාවලිය සාර්ථක කරගැනීමට හැකි වූ බව ජනාධිපතිවරයා  පෙන්වා දුන්නේය.

පොසිල ඉන්ධන භාවිතය අවම කරමින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත පරිවර්තනය රජයේ අභිප්‍රාය යි. ඒ සඳහා සූර්ය හා සුළං මගින් විදුලි උත්පාදන ව්‍යාපෘති රැසක් සැලසුම් කර තිබේ. කාබනික පොහොර භාවිතය සඳහා ද රජය ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹ ඇත. කාබනික පොහොර නිෂ්පාදනයට සහ නයිට්‍රජන් නිස්සාරණයට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට මැදිහත් වන ලෙස ද ජනාධිපතිවරයා කෙනිචි යෝකෝයාමා  මහතාගෙන් ඉල්ලා සිටියේය.

ග්‍රාමීය ජනතාවගෙන් 90%ක් වන කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නියැලි පිරිසගේ ආදායම හා ජීවන තත්ත්වය නඟා සිටුවීම රජයේ අපේක්ෂාවයි. එමෙන්ම ආර්ථිකමය වශයෙන් ඵලදායී වගාවන් මගින් වන ආවරණය වැඩි කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහාය අපේක්ෂා කරන බව පැවසීය.

Related Posts