කුකුළු කෑම මිල අහස උසට – බිත්තරයක සිල්ලර මිල ඉහළට

Spread the love

කුකුළු ආහාර සහ අනෙකුත් ද්‍රව්‍යවල මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන් බිත්තරයක විකුණුම් මිල රුපියල් 20-21 දක්වා ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා කුකුළු මස් සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසීය.

කිකිළියන් පෝෂණය කිරීම සඳහා භාවිතා කරන ධාන්‍ය වල මිල ඉහළ යාම හේතුවෙන් බොහෝ කුකුළු ගොවීන්ට බිත්තරයක මිල වැඩි කිරීමට සිදු වූ බව ඔහු පැවසීය.

කුකුළු කෑම ලෙස බහුලව භාවිත කරන බඩ ඉරිඟු ආනයනය නතර කිරීමට රජය පියවර ගැනීමත් සමග කුකුළු ආහාරවල මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර එය බිත්තර නිෂ්පාදනයට ඍජුව බලපා තිබේ.

බිත්තර නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය වල මිල ඉහළ යාම හේතුවෙන් බිත්තර කර්මාන්තය බිඳ වැටෙනු ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය (AIEPA) අද අනතුරු ඇඟවීය.

මේ අතර, සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ (AIEPA) භාණ්ඩාගාරික විජය අල්විස් මහතා පැවසුවේ දේශීය බඩඉරිඟු කිලෝග්‍රෑමයක් රුපියල් 100 කට අලෙවි කරන අතර සෝයා බෝංචි කිලෝග්‍රෑමයක් කොළඹදී රුපියල් 170 ක මිලකට අලෙවි කරන බවයි. දැනට පවතින මිල ගණන් සමඟ සත්ත්ව ආහාර කිලෝග්‍රෑමයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 100-105ක් පමණ වැය වේ.

“එක් බිත්තරයක් නිපදවීමට යන වියදම දළ වශයෙන් රුපියල් 17ක් පමණ වෙනවා. බිත්තරයක් වෙළඳපොලේ අලෙවි කෙරෙන්නේ රුපියල් 18කටයි. රුපියලක ලාභයක් සමඟ කුකුළු ගොවීන්ට තම පිරිවැය කළමනාකරණය කර ගැනීමට නොහැකියි” ඔහු පැවසීය. අපි රජයෙන් කිසිවක් ඉල්ලන්නේ නැත. ඒ වෙනුවට අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ සෝයා බෝංචි සහ බඩඉරිඟු ආනයනික බදු අඩු කරන ලෙසයි. මේ දැවැන්ත බදු පැනවීම් නිසා තමයි මේවායේ ආනයනික මිලත් විශාල ලෙස ඉහළ ගොස් තිබෙන්නේ. මෙරට සමස්ත බිත්තර නිෂ්පාදනයෙන් 70% ක් වයඹ පළාතේ සිදුකරන්නේ. ඔවුන් සිය නිෂ්පාදනය නැවැත්වුවහොත් එය අදාළ ප්‍රදේශවල රැකියා ඇතුළු සමස්ත ආර්ථික හා සමාජ පද්ධතියටම බලපානවා. ඒ නිසා අපි කියන්නේ අනෙක් දේවල්වලට වගේම මේ කර්මාන්තයටත් සැලකිල්ලක් දක්වන්න‘ අල්විස් මහතා වැඩි දුරටත් පැවසුවේය.

Related Posts