කාබනික පොහොර වැඩපිළිවෙළට ‘ආණ්ඩුවට සහාය දෙන වමේ පක්ෂවල‘ පූර්ණ සහාය

Spread the love

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන කාබනික පොහොර වැඩසටහනට සිය පක්ෂවල සහ සංවිධානවල පූර්ණ සහාය ලබා දෙන බව එම පක්ෂ සහ සංවිධානවලට අයත් නායකයින් අද (14) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට සහතික වුණා.

රජයට සම්බන්ධ වමේ පක්ෂ 11 කින් සැදුම්ලත් සංවිධානයක පක්ෂ නායකයන් හා නියෝජිතයන් අද (14) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් හමු වූ අවස්ථාවේදීයි ඔවුන් මේ බව අවධාරණය කළේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ.ජයසිංහ මහතා ඇතුළු කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්, ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත්බන්දු වික්‍රම, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්, මහාචාර්ය ප්‍රියන්ත යාපා මහතා ඇතුළු පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්වුණා.

රසායනික පොහොර හා කෘමි නාශක, වල් නාශක තහනමට මුහුණ දීම සදහා මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග මෙහිදී සාකච්ඡා කළා. ඒ වෙනුවෙන් කාබනික පොහොර නිෂ්පාදනයේ අවශ්‍යතාවය, බෙදාහැරීම, දිගු කාලීන හා කෙටි කාලීන වැඩපිළිවෙළ පිළිබද පක්ෂ නායකයින් හා නියෝජිතයින් දැනුවත් කළා. මෙහිදී ඒ ඒ පක්ෂ නායකයන් හා නියෝජිතයන් ප්‍රායෝගිකව පැන නගින ගැටළු රැසක් පිළිබදව සිය අදහස් පල කළා.

කෘෂි ගම්මාන වැඩපිළිවෙළක් හදුන්වා දෙන ලෙසත් පාංශු පරික්ෂණ රට පුරා ක්‍රියාත්මක කිරීම පිළිබදවත් පක්ෂ නායකයන් කෘෂිකර්ම අමාත්‍යවරයාට ප්‍රශංසා කළා.

අමාත්‍ය වාසුදේව නානායක්කාර (ප්‍රජාත්‍රන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ) ‘‘පැය 03 ක් කාබනික පොහොර වැඩපිළිවෙළ ගැන කතා කළා. කාබනික ගොවිතැන නැමති පෙරළිය ගැන අපි කතා කළා. වී ගොවිතැනේ සිට සියලු වගාවන් හා වැවිලි කර්මාන්තයටත් යන ගමනක් යන්නේ. කාබනික පොහොර අවශ්‍යතාවය, නිශ්පාදනය, බෙදාහැරීම ගැන අපි කතා කළා. රසායනික පොහොර සමාගම් ඒ පිටුපස සිටින මහ බලවතුන් මෙම වැඩපිළිවෙළට බාධා කරනවා. සියල්ල අපි ජයගතයුතු හැටි අපි කතා කළා. නිලධාරි තන්ත්‍රය මේ සදහා හොද ආකල්පයක් ඇති කිරීමට අද අපිට කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු නිලධාරීන් දුන් දැනුම ඉතා වැදගත්.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා – ‘‘රජයට සම්බන්ධ වමේ පක්ෂ 11 ක සංවිධානයක් විසින් රජය ගත් පොහොර තහනම පිළිබද ඔවුන්ගේ මතය අද අප වෙත ඉදිරිපත් කළා. මෙම ජාතික වැඩපිළිවෙළට අවශ්‍ය සියලු සහාය ඔවුන් විසින් ලබා දෙන බව ප්‍රකාශ කළා. මේ පිළිබදව නිසි දැනුම, ඉදිරි වැඩපිළිවෙළ පිළිබද පුළුල් දැනුමක් ලැබුණු බව ඔවුන් ප්‍රකාශ කළා. පක්ෂ නායකයන්, එම පක්ෂ වල නියෝජිතයන් ඇතුළු මැති ඇමතිවරුන්, අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරුන් විද්වතුන් මීට එක්වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ (ශ්‍රී ලංකා කොමිනිස්ට් පක්ෂය) – ‘‘කෙටි කාලීන දිගු කාලීනව මේ සදහා වූ වැඩපිළිවෙළ පිළිබද අපි අද දැනුවත් වුණා. මේ දැවැන්ත විප්ලවීය වෙනසට දිය යුතු සියලු සහය අපි ලබා දෙනවා. කාබනික පොහොර ගොවි විප්ලවය ජයග්‍රහණයට අපේ සහය දෙනවා.

අමාත්‍ය ඒ.එල්.එම් අතාවුල්ලා (ජාතික කොංග්‍රසය) – ‘‘සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලේ මේ ආර්ථිකය ගේන්න හැදුවා. වස නැති ආහාර අපේ ජනතාවට දෙන්නට ඕන. අපිට අවශ්‍ය දේ අපිම හදන්න ඕන. ඒ සදහා අපේම පොහොර යොදන්න ඕන කියන ප්‍රතිපත්තියට අපේ සියලු සහය ලබා දෙනවා.

රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර (ජාතික නිදහස් පෙරමුණ) ‘- ‘ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කෘෂිකර්මාන්තයේ වැවිලි කර්මාන්තයේ පෙරළියක් කරන්න ගත් නව වැඩපිළිවෙළ පිළබදව මිත්‍යා මත යනවා. ඒ සදහා වූ සාර්ථක වැඩපිළිවෙළක් මීට මුහුණ දිය හැකි වැඩපිළිවෙළක් තිබෙන බව අද ඔප්පු වුණා. මේ විප්ලවීය වෙනස වෙනුවෙන් අවශ්‍ය සියලු සහය අපි ලබා දෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි. – ‘‘ජනාධිපතිතුමා ගත්ත තීරණය ඉටු කරන්න පුළුවන්ද යන්න අපි සොයා බැලුවේ. මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාගේ පැහැදි කිරීමෙන් මේක කරන්න පුළුවන් කියන එක ඔප්පු වුණා. සියලුදෙනා මෙය ජය ගන්නට උදව් කරන්න ඕන.

පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න (ශ්‍රී ලංකා මහජන පක්ෂය) – ‘‘කාබනික පොහොර භාවිතය හා රසායනික පොහොර තහනම පිළිබදව තීරණයට සියලු සහය ලබා දෙනවා. ඒ සදහා අප කැප වෙනවා. යල කන්නයේ පොහොර ප්‍රශ්න විසදීමට ඇමතිතුමා මැදිහත් වෙලා තියෙනවා. ඒ පිළිබදව ස්තූතිය පළ කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග (යුතුකම ජාතික සංවිධානය) ‘‘මෙම අරගලය අනිවාර්යෙන්ම ජයගත යුතුයි. ත්‍රස්තවාදය වගේම මෙම අභියෝගත් අප ජයගත යුතුයි. මේ තීරණය වෙනුවෙන් අපි හැමදාම සටන් වදිනවා. ඒ වෙනුවෙන් වූ කැපවීම අපි අගය කරනවා.

වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ්  පතිරණ – ‘‘වැවිලි කර්මාන්තයට අදාළ භෝග සඳහා කාබනික පොහොර යෙදවීම, අවශ්‍යතාවය, නිෂ්පාදනය සඳහා වූ වැඩපිළිවෙළක් අප සතුයි. අවුරුදු 03 ක සැලැස්මක් සහිත වැඩපිළිවෙළක් ඉදිරි දින වලදී අපි ජනාධිපතිතුමාට බාර දෙනවා. මේ පෙරළිය සඳහා වැවිලි භෝග හා සුළු අපනයන භෝග වගාවන්ට යොමු කිරීමට අවශ්‍ය සියලු වැඩපිළිවෙළ අප සතුයි.

උපුටා ගැනීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය ඇසුරිණි

Related Posts