කාබනික දියර පොහොර කෑන් පුපුරයි – සමාගම් නිහඩයි

Spread the love

ඇළහැර බකමූණ අතරගල්ලෑව උතුර ගොවිජන බල ප්‍රදේශයට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලබා දී ඇති කාබනික දියර පොහොර කෑන් පුපුරා දැඩි දුර්ගන්ධයක් හමා යන බවත් මේ වන විට වී වගාව ආරම්භ වී ඇති වෙලාවක බණ්ඩි පොහොර නොමිලේ ලබා  දීම සිදු කරන බවට ගොවි සංවිධාන චෝදනා කරයි.

මීට දින කිහිපයකට ඉහත දී  පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වි වගාව සඳහා කාබනික දියර පොහොර සහ රසායනික  බණ්ඩි පොහොර ගොවි සංවිධාන වෙත එවා තිබුණු බවත් ඒ අනුව ගොවි සංවිධානයට අයත් ගබඩාවක මේවා ගබඩා කර තිබියදී දියර පොහොර කෑන් පුපුරා එම ප්‍රදේශයේම දැඩි දුර්ගන්ධයක් පවතින බව ගොවීහු පෙන්වා දෙති.

ගොවීන් කියා සිටියේ මෙම දියර පොහොර කෑන් නිවසක තබා ගැනීමට නොහැකි තත්වයක් පසුවන බවත් අවස්ථාවෙන් අවස්ථාව මේවා උතුරා යෑම නිසා ගොවීන්ගේ ජීවිතවලට බරපතළ ගැටලු තත්වත්වයක් මතු වන බවයි.

එමෙන්ම ගබඩා කොට ඇති දියර පෝර කෑන් ඇතැම් ඒවා බැලුම් බෝල මෙන් ඉදිමි  පිපිරී යාමට ආසන්නව ඇති බව ගොවීන් පෙන්වා දුන්හ. මෙම දියර පොහොර දේශීය ආයතනයකින් නිෂ්පාදනය කොට රජයට ලබා දී  ඇති බවත් ඒවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ගොවීන්ට නොමිලේ ලබා දෙන බව ද ගොවීහූ පවසති‍ෙ

ඇතැම් ගොවීන් කියා සිටියේ මෙම කාබනික දියර පොහොර රැගෙන ගොස් වගාවට යොදා අත්දැකීම් ලැබෙන තුරු කිසිවක් ප්‍රකාශ කිරීමට  නොහැකි බවය. කෙසේ  වෙතත් ඇතැම් ගොවීන් දැඩි ලෙස කියා සිටියේ ගොවිතැන් විනාශ කිරීම් සඳහා මේවා ලබා දුන්නේ ද යන්න සැකයක් පවතින බව යි.

මේ දින වල වී වගාව සඳහා ආරම්භක කාලය බවත් එහෙත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් මේ දිනවල බණ්ඩි ගොයම සඳහා යොදන බණ්ඩි පොහොර ගොවි  සංවිධාන වෙත ලබාදීම සිදුකරන බවද ගොවීහූ පවසති.

කෙසේ වෙතත් ඇලහැර, කුමාරඇල්ල, බකමූණ, දියබෙදුම, අතරගල්ලෑවආදී ප්‍රදේශවල ගොවීන් සිය වී වගාව ආරම්භ කොට තිබේ.

මෙම දියර පොහොර පුපුරා යෑම පිළිබඳව දැනගැනීමට එම දියර පොහොර ඇසුරුම්වල ඇති දුරකතන අංක වලට ඇමතුම් ලබා ගත්ත ද එම ඇමතුම් වලට කිසිවෙකුගෙන් ප්‍රතිචාරයක් නොලැබෙන බව  ද ගොවියෝ පවසති.

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

Related Posts