‘ක්ෂය රෝගය’ යළි හිස ඔසවයි !

සමාජ තත්ත්වය, පන්තිය හෝ රැකියාව මේ කිසිවක් ක්ෂය රෝගයට බලපාන්නේ නැහැ. ඕනිම කෙනෙකුට එය ආසාදනය විය හැකියි. අතීතයේ, රජවරුන්ට පවා මේ රෝගී තත්ත්වය තිබී ඇති බව වාර්තා වෙනවා, ඒ නිසා මෙය සමාජයේ එක් කොට්ඨාසයකට පමණක් සීමා වුණු රෝගයක් නෙමෙයි

කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවන ක්ෂය රෝගය, විශාල මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් දක්වා වර්ධනය වී ඇති බව ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පෙන්වා දෙයි.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ දළ වශයෙන් දිනකට රෝගීන් දෙදෙනෙකු පමණ මිය යන බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

ශ්‍රී ලංකාවේ බහුලව පවතින බෝවන රෝග අතර, ක්ෂය රෝගය දෙවන ස්ථානයේ පසු වේ (පළමු ස්ථානය – ඩෙංගු). ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ වසරකට 500 – 600 ත් අතර සංඛ්‍යාවක් මරණයට පත් වේ.

ක්ෂය රෝගය ආසාදනය වූ පුද්ගලයෙකුගෙන් වසරකදී තවත් 10-15 ත් අතර සංඛ්‍යාවකට රෝගය පැතිරිය හැක.

“ඩෙංගු රෝගය ගත් විට ලෙඩ්ඩු වැඩියි, නමුත් එතරම් මරණ වාර්තා වෙන්නේ නැහැ. ක්ෂය රෝගය ගත් විට වසරකට රෝගීන් 8,000-9,000 ත් අතර සංඛ්‍යාවක් වාර්තා වනවා, ඒ වගේම මරණත් වැඩියි. ඒ නිසා ශ්‍රී ලංකාව විශාල අවදානමක ඉන්නේ,” යනුවෙන් ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ, සෞඛ්‍ය, අධ්‍යාපන සහ ප්‍රවර්ධන අංශයේ වෛද්‍ය අමාලි ජේ සේනානායක බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

සමාජය තුළ ක්ෂය රෝගය, නින්දාවට කරුණක් සේ සැලකීම (Stigma) සහ ඒ සම්බන්ධයෙන් පවතින මිත්‍යා මත සහ ඒ මත පදනම් වූ ප්‍රතිකාර ක්‍රම ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව වෛද්‍යවරිය පෙන්වා දෙයි.

“ක්ෂය රෝගය හැදුණා කිව්වොත් අපිට ලැජ්ජා වෙන්න වෙයි, අපිව කොන් කරයි වගේ සෘණ ආකල්ප මේ රෝගයත් එක්ක බැඳී පවතිනවා. අතීතයේ මේ රෝගයට නිසි ප්‍රතිකාරයක් නොතිබීම සහ එවැනි රෝගීන් සමාජයෙන් වෙන් කර තැබීම, එවැනි ආකල්පයකට හේතු වුණා වෙන්න පුළුවන්,”

අද වන විට ක්ෂය රෝගය නිට්ටාවට සුව කර ගැනීමට අවශ්‍ය ප්‍රතිකාර ඇතත් ශ්‍රී ලාංකික සමාජය තුළ තවදුරටත් පෙර කී ආකල්පය දැකිය හැකි බව වෛද්‍ය අමාලි ජේ සේනානායක පවසයි.

“සමාජ තත්ත්වය, පන්තිය හෝ රැකියාව මේ කිසිවක් ක්ෂය රෝගයට බලපාන්නේ නැහැ. ඕනිම කෙනෙකුට එය ආසාදනය විය හැකියි. අතීතයේ, රජවරුන්ට පවා මේ රෝගී තත්ත්වය තිබී ඇති බව වාර්තා වෙනවා, ඒ නිසා මෙය සමාජයේ එක් කොට්ඨාසයකට පමණක් සීමා වුණු රෝගයක් නෙමෙයි.”

‘වැඩි පීඩාව’ කාන්තාවන්ට

ක්ෂය රෝගය:

ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසන පරිදි ක්ෂය රෝගීන්ගෙන් 2/3 ක් පමණ පුරුෂයන්ය.

ක්ෂය රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා පුරුෂයන් අඩුවෙන් යොමු වන ස්වභාවයක් දක්නට ඇතත් කාන්තාවන් කඩිනමින් ප්‍රතිකාර ගැනීමට යොමු වන තත්ත්වයක් නිරීක්ෂණය කළ හැකි බව වෛද්‍ය අමාලි ජේ සේනානායක සඳහන් කළාය. එසේ වුවත් ඒ සඳහා මාස හයක් හෝ වසරක කාලයක් නොනවත්වා ප්‍රතිකාර ගත යුතු බවත් එය ශ්‍රී ලාංකික කාන්තාවන්ට විශාල අභියෝගයක් වී ඇති බවත් ඇය පෙන්වා දෙයි.

“නමුත් ගෙදරක අම්මා කෙනෙකුට රෝගී තත්ත්වයක් තිබෙනවා නම් ඒ මවට බෙහෙත් ටිකක් ගන්න, සායනයකට යන්න තමන්ගේ දරුවන්ගේ වැඩ, ගෙදර දොරේ දෛනික වැඩ කටයුතු සහ රැකියාවක් කරයි නම් ඒ කටයුතු මේ සියල්ල වෙන කිසිවෙකුට හෝ භාර කළ යුතු වෙනවා,”

“පවුලෙන් ලැබෙන සහයෝගය මත කාන්තාවන් ගෙදරින් එලියට ගිහින් ප්‍රතිකාර ලබා ගන්නවද කියන කාරණය අතර යම් සම්බන්ධයක් තිබෙනවා. ඒ නිසා මෙහිදී ස්ත්‍රියක් සෑම විටකදීම ගැටලුවලට මුහුණ දෙනවා සහ එය ඔවුන්ට දුෂ්කර තත්ත්වයක් ඇති කරවනවා,”

“බෙහෙත් ගන්න එක කාන්තාවකට ලොකු අභියෝගයක්. ඒ නිසා සමාජයක් වශයෙන් අපි කාන්තාවන්ට විශේෂ සැලකිල්ලක්, සහයෝගයක් දැක්විය යුතුයි.”

ක්ෂය රෝගය:

පුරුෂයන්ට වඩා, ක්ෂය රෝගය ආසාදනය වූ කාන්තාවන් සමාජය හමුවේ විශාල පීඩාවකට, වෙනස් ලෙස සැලකීමකට ලක්වන බවත් වෛද්‍ය අමාලි ජේ සේනානායක පෙන්වා දෙයි.

“ස්ත්‍රියකට ක්ෂය රෝගය වැළඳුනා නම් බොහෝ විට පවුල් සංස්ථාව, විවාහය තුළ ඒ ගැහැණු කෙනා කොන් වෙනවා වැඩියි. විවාහ වීමට අපේක්ෂාවෙන් ඉන්න තරුණියක් නම්, ‘අපෝ මෙයාට මෙන්න මේ වගේ ලෙඩක් තියනවා, ඒ නිසා විවාහ කර ගන්න බැහැ,’ වගේ සමාජය තුළ මතයක් තිබෙනවා,”

“පරම්පරාවෙන් පරම්පරාවට බෝ වෙයි වගේ ගොඩක් දුර්මත තිබෙනවා. ඒ නිසා මේ වැරදි මතත් එක්ක කාන්තාව විශාල වශයෙන් පීඩාවට ලක් වෙනවා,”

“ඒ වගේම තමන්ගේ යහළුවෙකුට මේ රෝගී තත්ත්වය තිබෙනවා නම් කොයිම වෙලාවකවත් කොන් කරන්න එපා. මේක අපලයක්, කරුමයක් නිසා වුනු දෙයක් කියල ඇතැමෙක් හිතන්න පුළුවන්. ඒත් ඒක එහෙම නෙමෙයි, මේක බෝවන ලෙඩක්, විවාහ වෙන්න මෙය බාධාවක් නොවෙයි, කෑම කන පිඟාන, වතුර කෝප්පෙන් බෝ වෙන්නේ නැහැ. ඔයත් පරිස්සම් වෙන්න, මාත් පරිස්සම් වෙන්නම් කියලා තරුණ පරපුර අතර යම් සහයෝගයක් ඇති වුණොත් මේ රෝගය අපට පහසුවෙන් තුරන් කර ගන්න පුළුවන් වේවි, ඒ නිසා මෙහිදී තරුණ පරපුරට විශාල වගකීමක් පැවරෙනවා.”

අභියෝග

ක්ෂය රෝගය

ශ්‍රී ලංකාව තුළ වසරකට ක්ෂය රෝගීන් 8,000-9,000 ත් අතර සංඛ්‍යාවක් වාර්තා වුවත් එය 13,000 -14,000 ත් අතර සංඛ්‍යාවක් විය හැකි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කර ඇතැයි ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිලිබඳ ජාතික වැඩසටහන පවසයි.

“එතකොට රෝගීන් හාරදහසක, පන්දහසක වෙනසක් තිබෙනවා. අපිට වාර්තා නොවුණත් ඔවුන් සමාජයේ කොහේ හෝ ඉන්නවා. මෙන්න මේ කියන රෝගීන් ප්‍රතිකාර වෙත යොමු කර ගත හැකි නම් අපිට මේ රෝගය 2035 වසරේදී පහසුවෙන් තුරන් කර ගත හැකි වේවි,”

“එහෙත් රෝගීන් ප්‍රතිකාර වෙත එන්නේ රෝගය ගොඩක් උත්සන්න වූ විට පමණයි. සමාජයේ ඒ සම්බන්ධයෙන් පවතින දැනුවත් භාවයත් ඒකට එක් හේතුවෙක්. සමහර අය නොදැනුවත්කම මත එන්නේ නැහැ, තවත් සමහර අය රෝගය ගැන දැනගෙනත් සමාජයෙන්, පවුලෙන් කොන් වෙන්න වෙයි, ආයත් වැඩට යන්න බැරි වෙයි වගේ ආකල්ප නිසා එන්නේ නැති තත්ත්වයක් තිබෙනවා,” යනුවෙන් වෛද්‍ය අමාලි ජේ සේනානායක පැවසීය.

“අනෙක් අතට ළඟම ආශ්‍රය කරන පුද්ගලයා සෑම විටම ගෙදරම අයෙක්ම වෙන්නේ නැහැ. සමහර විට බස් එකේ, මෝටර් රථයේ, කාර්යාලයේ හැමදාම ළඟින් ඉඳගෙන ඉන්න කෙනෙක් විය හැකියි. ඒ නිසා තමන් තමන්වම පරීක්ෂා කරගන්න මට්ටමකට අපි පැමිණිය යුතුයි.”

එමෙන්ම 2019 වසරේ රෝගීන් 8,434 වාර්තා වී ඇති අතර ඉන් 3% ක ප්‍රමාණයක් අවුරුදු 15 අඩු දරුවන් බවත් වෛද්‍ය අමාලි ජේ සේනානායක කියා සිටී.

වැඩිහිටියන්ට වඩා ළමුන්ගේ රෝග ලක්ෂණ වෙනස් බැවින් දෙමව්පියන් විසින් සිය දරුවන් නිසි පරීක්ෂාවකට ලක් කර ගනු ලැබීම ඉතා වැදගත් බව ඇය පෙන්වා දෙයි.

“ළමයින්ට උණක් හැදුනොත්, ඩෙංගුද දන්නේ නෑ කියලා අම්මලා බය වෙනවා. අනේ ඩොක්ටර් ලේ එකක් බලමුද කියලා අම්මලම අහනවා. ක්ෂය රෝගය සම්බන්ධයෙනුත් ජනතාව තුළ එවැනිම සුපරික්ෂාකාරී බවක් ඇතිවීම තමයි අද අපිට අවශ්‍ය වෙන්නේ,”

එබැවින් ක්ෂය රෝගය පිළිබඳ සමාජයක් වශයෙන් දැනුවත් (Awareness) වීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකාව හමුවේ දැඩිව පවතින බව ඇය අවධාරණය කරයි.

ක්ෂය රෝගය යනු කුමක්ද? බෝවන්නේ කෙසේද?

ක්ෂය රෝගය

ඈත අතීතයේ සිට පවතින රෝගයකි. ‘Mycobacterium tuberculosis’ බැක්ටීරියාව (MTB) හේතුවෙන් ආසාදනය වන බෝවන රෝගී තත්ත්වයකි.

ආසාදිත රෝගියෙකු කසින විට හෝ කිවිසුම් හරින විට සෙම හෝ කෙල බිඳිති (Droplets) වාතාශ්‍රයට එක් වී එම බිඳිති ආශ්වාස කිරීමෙන් තවත් අයෙකුට ආසාදනය වේ.

ශ්‍රී ලංකාවේ තත්ත්වය

සෑම දිස්ත්‍රික්කයකම දැකිය හැක.

වසරකට රෝගීන් 8,000-9,000 ත් අතර සංඛ්‍යාවක් වාර්තා වේ.

ගම්පහ, කළුතර, මහනුවර, කුරුණෑගල සහ රත්නපුර වැඩි වශයෙන්ම රෝගීන් වාර්තා වන දිස්ත්‍රික්ක අතර වේ.

ශ්වසන මාර්ගයෙන් පෙනහළු තුළට ඇතුළු වූ පසු කුමක් සිදුවේද?

රෝගය වැළඳිය හැක. බැක්ටීරියාව සැඟව සිට අවුරුදු 10-15 කට පසු වැළඳීමේ හැකියාවක් පවතී.

පෙනහළුවලට මූලිකවම බලපාන අතර කෙස් සහ නියපොතු හැර අනෙකුත් ඕනෑම අවයවයකට ආසාදනය විය හැක.

රෝග ලක්ෂණ මොනවාද?

  • සාමාන්‍ය ලක්ෂණ: කෑම අරුචිය, ශරීරය කෘෂ වීම, මහන්සිය/තෙහෙට්ටුව/අලස බව, මද උණ ගතිය
  • පෙනහළු ආසාදනය වූ විට: කැස්ස, සති දෙකකට වැඩි/ කඩින් කඩ, හුස්ම ගැනීමේ අපහසු බව, පපුවේ වේදනාව
  • අනෙකුත් අවයව: අදාළ අවයවය අනුව රෝග ලක්ෂණ වෙනස් වේ.
  • වසා පද්ධතිය: කුද්දැටි ඇති වීම
  • කොඳු නාරටිය ආශ්‍රිත: කොන්දේ වේදනාව

ඉහත කී රෝග ලක්ෂණ හෝ ඒ පිලිබඳ සැක නම්

හැකි ඉක්මණින් තම දිස්ත්‍රික්කයේ පිහිටි දිස්ත්‍රික් ළය චිකිත්සාගාරය/ රජයේ රෝහලකට ගොස් රෝගය තිබේදැයි නීර්ණය කර ගත හැක. සියලුම පරීක්ෂාවන් සහ ප්‍රතිකාර නොමිලේ සිදු කෙරේ.

ක්ෂය රෝගය වැළඳුනු කුඩා ළමුන්ගේ රෝග ලක්ෂණ මොනවාද?

  • බර අඩුවීම, නිශ්චිත පරිදී බර වැඩි නොවීම
  • කෑම අරුචිය
  • මහන්සිය/ අලස බව (කම්මැලි ගතිය)
  • සුව නොවන ඇදුම
  • මද උණ
  • කැස්ස
  • ප්‍රතිජීවකවලට සුව නොවන නිව්මෝනියාව

ලෝක ක්ෂය රෝග දිනය මාර්තු 24 වෙනිදාට යෙදී තිබුණු අතර “කාලය ගෙවී යයි” (The Clock is Ticking) මෙවර එහි තේමාව විය.

කාලීනභාවය සහ ක්ෂය රෝගය පිළිබදව ජනතාව වඩාත් නිවැරදිව දැනුවත් කළ යුතු නිසා බී.බී.සී සන්දේශය වෙතින් සම්පූර්ණ ලිපියම උපුටා ගන්නා ලදි – ප්‍රධාන සංස්කාරක

Loading...

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *