කරන්දෙනිය වෛද්‍යවරයා ඝාතනයේ ප්‍රධාන සැකකරුවන්ගේ නිවාස සහ දේපළ ගිනිබත් කරයි

Spread the love

කරන්දෙනිය රජයේ රෝහලේ සේවය කළ වෛද්‍ය පි‍්‍රයංක ප්‍රසාද් ජයසිංහ මහතාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනාගේ නිවාස වෙළෙඳ සල් සහ දේපළ ප්‍රදේශවාසි පිරිසක් විසින් ඊයේ (1 නොවැ.) උදෑසන ගිනිතබා විනාශ කරන ලදී.

චින්තක රුවන් නමැති එක් සැකකරුවකුට අයත් වෛද්‍ය රසායනගාරය කරන්දෙණිය මහ ඒදණ්ඩ ප්‍රදේශයේ පිහිටා තිබූ අතර එය ගින්නෙන් මුළුමනින්ම විනාශ වී ගොස් තිබේ. අනෙක් සැකකරුවා ලෙස අත්අඩංගුවට ගෙන ඇති කැස්ටන් චන්දන නමැත්තාගේ නිවෙස සහ ඔහුගේ පියාට අයත් කුරුඳුගහ හැතැක්ම ප්‍රදේශයේ පිහිටි වෙළෙඳ සලක්ද ප්‍රදේශවාසීන් ගිනි තබා විනාශ කර ඇත.

කරන්දෙණිය සහ කුරුඳුගහහැතැක්ම නගරවල සියලුම වෙළෙඳ සැල් වසා දමා කළු කොඩි ඔසවා ප්‍රදේශවාසීහු දැඩි විරෝධතාවක නිරත වූහ. ප්‍රධාන සැකකරුවන් දෙදෙනාගේ පවුල්වල සාමාජිකයන් සහ ඥාතීන් එම ප්‍රදේශවලින් පලාගොස් ඇති අතර ඔවුන්ගේ දේපළ නිවාස වලට පොලිසිය ආරක්ෂාව ලබා දී තිබේ. මේ නගර දෙකේ ජනතාව සැකකරුවන් දෙදෙනාට විරෝධය පාමින් මාර්ගවල රැඳී සිටින අතර ඇල්පිටිය පොලිස් කොට්ඨාසයේ සියලුම පොලිස්ථානවල නිලධාරීන්ද පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ද යොදවා ආරක්ෂාව තර කර තිබේ.

වෛද්‍යවරයා ඝාතනය කිරීම මුදල් මත සිදු කර ඇති බවත් එය කොන්ත්‍රාත්තුවක් බවත් මේ වන විට රහස් පොලිසියේ පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. වෛද්‍ය රසායනාගාරය පවත්වාගෙන ගොස් ඇති පුද්ගලයා මේ කොන්ත්‍රාත්තු ලබා දී ඇති බව පැවැසේ. මියගිය වෛද්‍යවරයා විසින් රසායනාගාරයක් අලුතෙන් ඉදිකිරීමට යන බව චින්තක රුවන් නමැති ප්‍රධාන සැකකරුට තොරතුරු ලැබීමත් සමඟ ඔහු විසින් මේ ඝාතනය සැලැසුම් කරන්නට ඇතැයි රහස් පොලිසිය සැක කරයි.

මේ අතර කරන්දෙණිය සහ කුරුදුගහහැතැප්මය ප්‍රදේශයට ඊයේ (01) දහවල් සිට පොලිස් ඇඳිරිනීතිය පැනවූ බව ගාල්ල දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති විජය අමරසිංහ මහතා පැවැසීය. සිද්ධියට අදාළ සැකකරුවන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවත් නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට අවස්ථාව ලබාදී ජනතාවට සන්සුන්ව සිටින ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

RSL

Related Posts