කණු කසළ සොයා ආ දැවැන්තයින් නිසා දඹුල්ල – මහියංගනය පාරේ ගමන බිහිසුණුයි !

Spread the love

දඹුල්ල –  මහියංගනය ප්‍රධාන මාර්ගයේ දඹුල්ල සහ බකමූණ පොලිස් වසම් ආසන්නයේ රිදීඇල්ල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය දෙපස ජනතාව විසින් දමා යන කුණු කසළ ආහාරයට ගැනීමට පුරුදුරුදුව සිටින වන අලින් කීපදෙනෙකු මේ දිනවල දිනපතා ප්‍රධාන මාර්ගයේ ගමන් කිරීම නිසා මගී ජනතාව මෙන්ම වන අලින්ගේ ජිවිත දැඩි අවදානමකට ලක්ව තිබේ.

 බකමූණ දඹුල්ල ප්‍රධාන මාර්ගය දෙපස දිනපතාම  කුණු කළල තැන තැන දමා යෑම සිදු කරන බවත් එම කුණු කසළ ආහාරයට ගැනීම සඳහා මෙම වන අලින් පුරුදුව සිටින බව ජනතාව පෙන්වා දෙති.

මෙම හේතුව නිසා වන සතුන් ගේ ජීවිත මෙන්ම මාර්ගයේ ගමන් කරන මගී ජනතාවගේ ජීවිත ද දැඩි අවදානමකට ලක්ව තිබේ. ඊයේ (11) දඹුල්ල බකමූණ ප්‍රධාන මාර්ගයේ පැය දෙකක පමණ කාලයක් ජනතාවට සිදුවූ අපහසුතාවය අප කැමරාවේ සටහන් කර ගැනීමට හැකි විය.

රිදී ඇල්ල  ප්‍රදේශයෙන් මහා මාර්ගයට පිවිසි දැවැන්ත වන අලියෙකු මාර්ගය දෙපස ඇති ජනතාව ගෙනැවිත් දමා තිබූ කුණු කසළ සොයා ඒවා ආහාරයට ගනිමින් කිලෝමීටර් දෙකක පමණ දුරක් එක දිගට ප්‍රධාන මාර්ගයේ ගමන් කරන්නට විය.

ඇතැම් වාහන මෙම අලියා ආසන්නයෙන්  අවධානම නොතකා ගමන් කරන ආකාරයත් තවත් වාහන හිමියන් නැවත හරවා ගෙන විදුලි වේගයෙන් ආපස්සට බියවී ගමන් කරන ආකාරයත් තවත් වාහන වන අලියා ගමන් කරනද්දී සෙමින් සෙමින්  ආපස්සට මෙන්ම ඉදිරියට ගමන් කරන දසුන් ද ප්‍රධාන මාර්ගයේදී දැකගැනීමට හැකියාව තිබිණි.

ඇතැම් මගින් සිය  රාජකාරී ගමන් බිමන් යෑම සඳහා ජීවිතය පරදුවට තබා වන අලියා අසලින් ගමන් කරන්නට ද විය.

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ අලියාගේ ජීවිතයට පොලිතීන් සහ අනෙකුත් ද්‍රව්‍ය ඇතුළු වීම නිසා සිදුවන හානිය මෙන්ම වන අලියා වාහන හිමියකෙකුට පහර දීමක් හෝ බියවීමෙන් ඇදවැටීම අනතුරට ලක් වූයේ නම් ඉන් මහා විනාශයක් සිදුවන බවය.

මෙනිසා දඹුල්ල – බකමූණ ප්‍රධාන මාර්ගය දෙපසට කුණු කසළ බැහැර නොකරන ලෙස ප්‍රදේශවාසී ජනතාව මෙම කටයුත්ත කරන සියලු දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

සටහන – කංචන කුමාර ආරියදාස – දඹුල්ල

Related Posts