කණ්ඩලම වැවේ දූපත් දෙකක හදිසි සොයා බැලීමකදී ඉන් එක් දූපත්ක ඉපැරණි දාගැබක් හෝ විශාල ගොඩ ගොඩනැගිල්ලක නටඹුන් මතුවී තිබෙන අතර අනෙක් දූපතේ කිසියම් සංවිධානාත්මක පිරිසක් පක්ෂීන් මස් පිණිස මරා රැගෙන යෑමේ ජාවාරමක් 02 දින පස්වරුවේ එළිදරව් කර ගැනීමට මහවැලි නිලධාරීහු සමත් වෙති.
මෙම දූපත්වල විවිධ අකටයුතුකම් සිදු වන බවට ලද තොරතුරක් මත පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්ගේ සහාය ඇතිව බෝට්ටුවකින් මහවැලි නිලධාරීන් 02 දින පස්වරුවේ කණ්ඩලම වැවේ පිහිටි දූපත් දෙක නිරීක්ෂණයකට පිටත් වූහ. එහිදී පළමු දූපතේ ඉහළ කොටසේ විශාල ගොඩ ගොඩනැගිල්ලක හෝ දාගැබ්ක නට්ඹුන් මතු වී ඇති අයුරු දැක ගැනීමට හැකි වූ බව මහවැලි නිලධාරීහු පවසති.
ඉහළ කොටසේ ගල් තලාවක් මත ඉපැරැණි ගඩොල් පස් සහ වෙනත් ඉදිකිරීම් සිදු කළ බවට තහවුරු වන සලකුණු රැසක් පවතින බවත් එය කුමන කාලයකට අයත් ස්ථානයක් ද යන්න අනාවරණය වී නැති බව මහවැලි නිලධාරීහු පවසති.
මෙම ස්ථානයට ගිය විට එක් පසෙකින් ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරය අනෙක් පසින් ඓතිහාසික සීගිරි පව්ව පිදුරංගල පව්ව එඩේර ගල, ආදී ඓතිහාසික වැදගත්කම්කින් යුත් ස්ථාන දර්ශනය වන අතර ඉතා අලංකාර දසුන් ද වෙයි.
මෙම දූපතේ අක්කර 26ක පමණ ප්‍රමාණයක් පවතින බවත් විවිධ කණ්ඩායම් උපයෝගී කරගෙන එමෙන්ම ජලය සිදුනු අවස්ථාවන්හිදී මෙම දූපතට පැමිණ එම දූපතේ සුන්දරත්වය විනාශ කරන බව මහවැලි නිලධාරීන් පවසති.
පසුව කන්ඩලම වැව මැද පිහිටා ඇති බොහෝ දෙනෙකු කුරුලු දූපත ලෙසින් හඳුන්වන කුඩා දූුපතට යන අවස්ථාවේදී එහි පක්ෂීන් මරා මස් රැගෙන යෑම සංවිධානාත්මක ක්‍රියාවලියක දසුන් දැකගැනීමට හමුවූ බව මහවැලි නිළධාරීන් පවසති.
පරීක්ෂණ කණ්ඩායම එම ස්ථානයට ගමන් කරන විටත් සුදු කොකුන් රැසක් මරා ඔවුන්ගේ හිස් සහ කකුල් කපා එම දූපතේ ම දමා මස් රැගෙන ගොස් ඇති අයුරු දැකගැනීමට හැකි විය. එමෙන්ම මස් කිරීමට නොහැකි වූ මියගිය කොකුන් දෙදෙනෙකුගේ සිරුරු ද සොයා ගැනීමට මහවැලි නිලධාරීන්ට හැකි විය.
මෙම දූපත් දෙකට දැඩි ආරක්ෂාවක් ඉදිරියේදී ලබා දෙන බව ද ඔවුහු පවසති. මෙම ස්ථාන අපවිත්‍ර කිරීම් සහ සතුන් දඩයම් කිරීම සිදු නොකරන්නැයි මහවැලි නිලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.
කන්ඩලම ජලාශය සුන්දරත්වය රැදී පවතින්නේ මෙම වැව මැද පිහිටා ඇති දූපත් හේතුවෙනි. ලොව පුරා සංචාරකයන් මෙන්ම මෙරට බොහෝ ජනතාවක් කන්දලමේ සුන්දරත්වය දැක බලා විද ගැනීම සදහා පැමිණෙති. මෙරට බොහෝ ටෙලි නාට්‍ය හා චිත්‍රපට රුගත කිරීම් සදහා යොදා ගනිති.
සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල