එළවළු, පලතුරු හා ආහාර ද්‍රව්‍ය රික්ත හෙවත් වායු රහිතව ඇසුරුම් කිරීම

Spread the love

එසේ වුවත් ඇසුරුම් කළ සෑම ද්‍රව්‍ය වර්ගයක්ම එකලෙස දිගු කලක් අලෙවි කිරීමට තබා ගත නොහැකි වේ. එසේම අක්‍රමවත් හෝ දුර්වල ආකාරයේ ඇසුරුම් භාවිතයෙන් ද එම තත්වය උදා කෙරේ. එලෙස අලෙවිය පිණිස ආහාර නිෂ්පාදන කල්තබා ගැනීමට නම් ඒවායෙහි ජීව කාලය වැඩිකර ගැනීමට සිදුවේ. ඒ උදෙසා සුදුසු පරිසර තත්වයන් ද නිර්මාණය කරගැනීමට අවශ්‍ය කෙරේ. කෙටි කාලීනව එළවළු, පලතුරු හා ආහාර ගබඩාකර තබාගෙන නැවත පරිභෝජනයට ගැනීම සඳහා උදෙසා ශීතකරණයක හෝ පාලිත තත්ත්ව යටතේ සිසිල් වියළි පරිසරයක තබාගත හැකි වේ.

කෙසේ වුව ද සාමාන්‍ය ඇසුරුම් තුළ බහා උෂ්ණත්වය පහළ දැමූ පරිසරයක ගබඩාකර තබාගත් එළවළු හෝ  පලතුරු එම ඇසුරුම් තුල දීම විමෝචනය කරන වායු හේතුවෙන් එකී ඇසුරුමේ මුද්‍රාව අතරින් සවිවර සිදුරු ඇති කරයි. ඒ අනුව සෙමෙන් සිදුවන නිර්වායු ශ්වසන ක්‍රියාවලිය මගින් එම ආහාර ද්‍රව්‍ය තුළ බැක්ටීරියා වර්ධනවී ඒවා පරිබෝජනයට නුසුදුසු තත්වයට පත් කෙරේ. එහෙත් එළවළු, පලතුරු හා ආහාර , රික්ත හෙවත් වාතය රහිතව  ඇසුරුම් කිරීම / Vacuum Sealing of Fruits, Vegetables & Foods තුළින් පරිභෝජනයට පෙර දිගුකලක් එම ද්‍රව්‍ය ශීතකරණයක හෝ ආරක්‍ෂිත ස්ථානයක ගබඩා කර තැබිය හැකි වේ. මක් නිසාදයත් රික්ත ක්‍රමයට ඇසුරුම් කිරීමෙන් පසු ඇසුරුමේ අන්තර්ගත ආහාර ඔක්සිකරණයට බඳුන්වීමට ඇති හැකියාව අහිමිවීම යි.


රික්ත හෙවත් වායු රහිතව ආහාර ද්‍රව්‍ය හෝ පූර්ව සැකසූ ආහාර නිෂ්පාදන ඇසුරුම් කර අලෙවි කිරීම වර්තමානය වනවිට ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්තවන කර්මාන්තයකි. සාමාන්‍ය ඇසුරුම් කිරීමකදී මෙන් නොව ඇසුරුම තුලින් ඔක්සිජන් ඉවත් කිරීම මෙහි විශේෂත්ව යයි. බෝග අස්වැන්නක් හෝ ආහාර ද්‍රව්‍ය හායනය Degradation කිරීමේ ප්‍රාථමික හේතුකාරකය වන්නේ ඔක්සිජන් වායුවයි. එහෙයින් ඇසුරුමක් තුළ වූ ඔක්සිජන් වායුව බැහැර කරලීමෙන් එහි බහාලූ ද්‍රව්‍ය පරිභෝජනය සඳහා තබා ගතහැකි ආයු කාලය දීර්ඝ කරගත හැකි වේ.

ස්වයං රැකියාවක් ලෙස හෝ නව ව්‍යවසායකත්වයක් ලෙස ආහාර ද්‍රව්‍ය ආරක්ෂාකර හෝ පරිරක්ෂණය කර වෙළඳපොළට යොමු කිරීමට ඔබ අදහස් කරන්නේ නම්, රික්ත ඇසුරුම් ක්‍රමවේදය උපයෝගීකර ගැනීමෙන් ඔබට සුවිශේෂී ප්‍රතිලාභ අත්පත්කර ගත හැකි වේ. ඒ අනුව ආහාර විජලනය වීමෙන් ආරක්ෂාකර ගැනීමට අවස්ථාව සැලසේ. එමෙන්ම ආහාර වටා වූ ජල ස්ඵටික සමඟ වාතය ස්පර්ශවීමෙන් හෝ ගැටීම හේතුවෙන් වීම උදාකෙරන Freezer burn තත්වය වළකාගත හැකි වේ. (එම තත්වය පාරිභෝගිකයාගේ සෞඛ්‍ය කෙරෙහි බල නොපෑවත් අදාල ආහාරයේ වයනයට හා රසයට හානි පමුණුවයි. එසේවීමෙන් එහි ගුණාත්මක භාවයට හානි පැමිණේ.) අදාල නිෂ්පාදනය වාතයට නිරාවරණයවිම අවමවීම හේතුවෙන් ශීතකරණයක් තුළ ආහාර ආරක්ෂාව හා පරිරක්ෂණය හොඳින් ඉටුවේ. එමගින් පුස්, දිලීර හා බැක්ටීරියා ජනිතවීම හා පැතිරීම නිශේධනය කරයි. මෙම ක්‍රමවේදය ඉක්මනින් නරක්වන මස්, සලාද හා එළවළු වර්ග මෙන්ම සෘතුමය බෝග ඇසුරුම් කිරීමට වඩා උචිත වේ. තක්කාලි හා බෙරි වැනි සෘතුමය බෝග මෙලෙස ඇසුරුම් කිරීම ඔස්සේ අවාරයේ වුවද නැතහොත් වසර පුරාම නැවුම් බවින් Year-Round Freshness හෙබි පලතුරු පාරිභෝගිකයින් වෙත සැපයීමට හැකිවේ. එමෙන්ම මෙලෙස ඇසුරුම් කිරීම හේතුවෙන් ආහාර ද්‍රව්‍ය ගබඩාකර තැබීම උදෙසා විශාල ලෙස ඉඩකඩ අවැසි නොවේ. විශේෂයෙන් කුකුළු මස්, මාළු හා හරක්මස් කුළුබඩු මිශ්‍රකර පදම්කර එහි රසය වැඩි දියුණු කර පිසීමට පහසුවෙන් ගතහැකි ලෙස පෙර සකසා ඇසුරුම් කිරීමට මෙම ක්‍රමවේදය වඩාත් උචිත වේ. ඒ අනුව ඉක්මනින් පරිභෝජනය කළ හැකි හා ඉක්මනින් පරිභෝජනයට නොගන්නා බොහෝ ද්‍රව්‍ය ආරක්‍ෂාකර තබා ගැනීම සඳහා වායු රහිතව ඇසුරුම් කිරීම උපයෝගීකර ගතහැකිවේ.

රික්ත ක්‍රමය යටතේ ද්‍රව්‍ය ඇසුරුම් කරන මළු ඝනකම හා ස්වරූපය සහ ඔක්සිජන් වායුවට දක්වන පාරගම්‍යතාව Permeability අනුව විවිධාකාර වේ. නෙරුම් සහිත ඇළි යොදා පෙර සැකසූ මළු Channeled vacuum bags විශේෂය ද ඇසුරුම් කටයුතු සඳහා යොදා ගැනේ. මෙහිදී සකසාගත් ආහාර ද්‍රව්‍ය එම මළු තුලට බහාලීමෙන් පසුව ඇසුරුමේ කෙළවර වූ නෙරි හා ඇළි එකිනෙකට ගලපා ක්‍රමක්‍රමයෙන් තෙරපීමේදී එම මළු තුල රැඳී ඇති වාතය ඉවත්වී ඇසුරුම මුද්‍රාවීම සිදුවේ. ඉන් බැහැරව පහසුවෙන් විවර කිරීමට හා වාතය රහිතව නැවත නැවත විවෘත කිරීමට හා වැසීමට හැකි Re-closable zipper ඇසුරුම් මළු විවිධ වර්ගයේ ද්‍රව්‍ය රික්තව ඇසිරීම සඳහා ද උපයෝගීකරගනු ලැබේ.

පොලිතීන් හා සැසදීමේදී අභ්‍යයන්තරයේ වූ ආහාර නිෂ්පාදන වලට සුර්යාලෝකයෙන් වන හානිකර බලපෑම් වළක්වා ගැනීම උදෙසා ඇළුමිනියම් ෆොයිල් ඇසුරෙන් සැකසූ ඇසුරුම් මළු රික්තක ක්‍රමය යටතේ ද්‍රව්‍ය ඇසිරීම සඳහා ඉතා යෝග්‍ය වේ. මෙම ක්‍රමවේදය යටතේදී එක් එක් ද්‍රව්‍යයන් ඇසුරුම් කරන ධාරිතාවය මත හා ඒ උදෙසා උපයෝගීකරගනු ලබන ඇසුරුම් මාධ්‍ය අනුව ඊට යෝග්‍ය වන ආකාරයෙන් නිපදවූ රික්තක ඇසුරුම් යන්ත්‍ර Vacuum Sealers වර්ග ලෝකය පුරාම ආහාර සැකසුම් කර්මාන්ත ආශ්‍රිතව දැන් බහුලව භාවිතයට ගැනේ.

විශේෂයෙන්ම විකරණය කරන ලද පරිසර තත්ව යටතේ ආහාර ඇසුරුම්කරණයේ Modified Atmosphere Packaging නවතම ප්‍රවණතාවය Vacuum Skin Packaging ලෙස හඳුන්වාදිය හැකි වේ. මෙම ක්‍රමයට අනුව හරක් මස්, ඌරුමස්, කුකුළු මස් මෙන්ම සැමන්, ඉස්සන්, මොර මාළු වැනි මුහුදු ආහාර හා සොසේජස් හා චීස් ඇසුරුම් කිරීම බහුලව දැකගත හැකිවේ. මෙවැනි යන්ත්‍රයක් තුළ දී තාපන ඒකකයෙන් තාපය යොමුකර පළමුව විනිවිද පෙනෙන ඇසුරුම් පටලය මෘදු කිරීමෙන් පසු පෙර සාදන ලද තාප-ප්‍රතිරෝධී තැටියක් මත වූ ආහාර නිෂ්පාදනය සමඟ ඒකාබද්ධ කර ඇසුරුම තුළ වූ වාතය  ස්වයංක්‍රීයව ඉවත්කර රික්ත මුද්‍රා තැබීම සිදු කෙරේ. මෙම තැටි නිපදවීම උදෙසා  Crystalline polyethylene terephthalate භාවිත කෙරේ. කෙසේ වුවද ලැමිනේටඩ් කඩදාසි පුවරු ඒ උදෙසා යොදාගැනීම ද ජනප්‍රිය වෙමින් පවතී. ඒ හේතුවෙන් වඩා හොඳ නිෂ්පාදනයක් පාරිභෝගිකයින් වෙත ඉදිරිපත් කිරීමට ඉඩ සලසයි. එසේම, නිෂ්පාදන ක්‍රියාවලියේදී උපයෝගීකර ගන්නා ප්ලාස්ටික් ප්‍රමාණය අඩු කරයි.

මෙලෙස ඇසුරුම් කළ නිෂ්පාදනයක් තුළ වාතය නොමැති හෙයින් ඒ තුළ ක්ෂුද්‍රජීවී වර්ධනය සඳහා ඇති හැකියාව අවම වේ. මේ හේතුව නිසා අදාල නිෂ්පාදනයේ වර්ණය, සුවඳ සහ නැවුම් බව ආරක්ෂා වේ. එමෙන්ම නිමි නිෂ්පාදනයට ත්‍රිමාණ පෙනුමක් ලබාදිය හැකිය. ගබඩා රාක්කවල සහ ප්‍රවාහනය කිරීමේදී ඇසිරීමට පහසුවේ. එමෙන්ම මෙම ඇසුරුම් ක්‍රමය කෑමට සූදානම් Ready to Eat නිෂ්පාදන ක්ෂේත්‍රයේ දී බහුලව භාවිත කෙරේ. මෙකී සියළු ක්‍රමවේද උදෙසා කුඩා පරිමාණයේ සිට  ඉහළ ධාරිතාවකින් යුතු  මාදිලි දක්වා වූ ඇසුරුම් කිරීමේ යන්ත්‍ර  විවෘත වෙළඳපොළ වෙතින් මිලදී ගත හැකි වේ.

මෙම ක්‍රමවේදයේ විශේෂත්වය වන්නේ කිසිදු කල් තබා ගැනීමේ ද්‍රව්‍ය /ආකලන භාවිතා කිරීමට අවශ්‍ය නොවීමයි. එමෙන්ම ඇසුරුම් කරන ලද නිෂ්පාදන ඔක්සිකරණයෙන්, පුස් යෑමෙන්, කෘමීන්ගෙන් හෝ තෙත් වීමෙන් වළකාගත හැකිවේ. දිගුකාලීන ගබඩා කිරීමකදී වුවද ආහාරයේ නැවුම්ව සුරැකේ. එනම් නිෂ්පාදනවල නැවුම් බව, ස්වභාවික සුවඳ, වර්ණය සහ රසය පවත්වා ගත හැකිවේ. ඇසුරුම්කරණයේ අවසාන ඉලක්කය වන්නේ පාරිභෝගිකයාට භාණ්ඩය සම්පූර්ණයෙන් බැලීමට ඉඩ සලසන ආකර්ෂණීය ඇසුරුමක් නිර්මාණයකර ගැනීමයි. එහි ප්‍රමූඛ අරමුණ වන්නේ ආහාර නිෂ්පාදිතයේ පරිභෝජනයට ගතහැකි ආයු කාලය දීර්ඝ කිරීමයි. එසේම මෙලෙස සකස් කරන ලද ඇසුරුමක් ශීත කළ විටදී ඇසුරුම තුළ අයිස් ස්ඵටික නිපදවීම වැළකේ. ඒ අනුව තුහින පිළිස්සීම හේතුවෙන් නිෂ්පාදනය මතුපිට ඉරිතැලීම වළක්වා ගත හැකිය. මෙවැනි ඇසුරුමක් අර්ධ වශයෙන් වුවද විවෘත කළ හැකිවේ. එහෙයින් ඇසුරුම තුළ ඇති ඉතිරි නිෂ්පාදනය පසුව පරිභෝජනයට ගැනීම උදෙසා තවදුරටත් ශීතකරණයේ තැබීමට හැකි වේ.

ආහාර නිෂ්පාදන හා සැකසුම් කර්මාන්තයේ දී රික්ත ඇසුරුම්කරණය පොදු මෙවලමක් බවට දැන් පත්ව තිබේ. මන්ද එමගින් විවිධ ආහාර අයිතමවල ආයු කාලය දීර්ඝ කරයි. ඇසුරුම් කරන ලද ආහාර ද්‍රව්‍යයේ පරිමාව අඩු කිරීමෙන් ඉතා ඵලදායී හා කාර්යක්ෂම ගබඩා විසඳුම් ද සපයා දෙයි. බැක්ටීරියා හෝ දිලීර වැනි වෙනත් ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනයවීම වළක්වයි. ආහාරවල නැවුම් බව ආරක්ෂා කරයි. මෙලෙස ආහාර ඇසුරුම්වල ඇති වායුගෝලීය ඔක්සිජන් ඉවත් කිරීම සඳහා ආහාර කර්මාන්තයේ රික්ත මුද්‍රා බහුලව භාවිතා වේ.

දැනට ආහාර නිෂ්පාදන සැකසුම් ක්ෂේත්‍රයේ රික්ත මුද්‍රාකරන යන්ත්‍ර වර්ග දෙකක් භාවිත කරන අයුරු දැකගත හැකි වේ. එනම් තනි කුටීරයේ රික්ත මුද්‍රාකරන යන්ත්‍ර Single Chamber Vacuum Sealers සහ ද්විත්ව කුටීරයේ රික්ත මුද්‍රාකරන යන්ත්‍ර Double Chamber Vacuum Sealers වශයෙනි. හැඳින්වීමට අනුවම තනි කුටීරයේ රික්ත මුද්‍රාකරන යන්ත්‍ර වල අයිතම මුද්‍රා තැබීම සඳහා එක් කුටියක් පමණක් අඩංගු වන අතර ද්විත්ව කුටීරයේ රික්ත මුද්‍රාකරන යන්ත්‍රවල එකම අරමුණ සඳහා කුටීර දෙකක් ඇත. යන්ත්‍ර දෙකම දළ වශයෙන් එකම මූලධර්ම මත ක්‍රියා කරයි. මුද්‍රා තැබීමේ බෑගයක ආහාර බහා යන්ත්‍රය තුළ තබා එහි පියන වසා දමන්න. යන්ත්‍රයට අදාල රික්තක පොම්පයක් මගින් එම කුටීරයේ වාතය ඉවත් කරනු ලබන අතර සියලු වාතය ඉවත්වී ගිය පසු, මුද්‍රා තීරු මගින් නිෂ්පාදිතයේ ඇසුරුම තදින් මුද්‍රා තබයි. ඉන් අනතුරුව මුද්‍රා තැබූ භාණ්ඩ ඉවත් කිරීම සඳහා එහි පියන ස්වයංක්‍රීයව විවෘත කෙරේ.

කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ඇසුරුම් සඳහා තනි කුටීර යන්ත්‍ර වඩාත් යෝග්‍ය වේ. මෙම වර්ගයේ යන්ත්‍රවල පියන වැසීමට හා විවෘත කිරිමට එය ක්‍රියාකරවන්නා හටම සිදුවේ. අනෙක් අතට, ද්විත්ව කුටීරයේ රික්ත මුද්‍රාකරන යන්ත්‍ර එහි නාමයෙන්ම ඉඟි කර ඇති පරිදි, වැඩි ධාරිතාවකින් යුක්ත වේ. මෙවැනි යන්ත්‍රයක් මධ්‍යම පරිමාණයේ ඇසුරුම් සඳහා වඩා සුදුසු වේ. ද්විත්ව කුටීර යන්ත්‍රයේ, වැසුම හෙවත් පියන සාමාන්‍යයෙන් එක් පැත්තක සිට තවත් පැත්තකට රූටා යයි. කාර්ය සාධනය අනුව කිසිම මාදිලියක් අනෙකට වඩා වෙනසක් නොපෙන්වයි. එය රඳා පවතින්නේ මුද්‍රා තබන අයිතමයේ ප්‍රමාණය මත පමණි. වරකට සුළු ප්‍රමාණයකින් ආහාර රික්ත ක්‍රමයට ඇසුරම් කිරීමට තනි කුටීර යන්ත්‍ර භාවිතය උචිත වේ. වඩා විශාල පරිමාණයේ ඇසුරුම් කිරීමක් උදෙසා  ද්විත්ව කුටීරයේ රික්ත මුද්‍රාකරන යන්ත්‍ර භාවිතා කිරීමට යොමුවීම වඩා යෝග්‍ය වේ.

තනි කුටීර ආකාරයේ මුද්‍රාකරන යන්ත්‍ර Single chamber sealer භාවිතයේ දී ඇසුරුම්  කළ යුතු ද්‍රව්‍ය සහිත බෑගය මුද්‍රා කරන යන්ත්‍රය තුලට මුළුමනින්ම බහා ලිය යුතු වේ. මුද්‍රාකරන යන්ත්‍රයේ පියන වසා දැමූ අවස්ථාවේදීම එහි වූ පොම්පය රික්තක Pump Vacuum කුටිරයෙන් වාතය ඉවත් කිරීමට පටන් ගනී. එවිට මුළු කුටිරයම රික්තකයට ලක් වනු ඇත. එම අවස්ථාවේ රික්ත බෑගය තුළ සහ කුටීරය තුළ පීඩනය එකහා සමාන වේ. මුළුමනින්ම වාතය ඉවත් වූ පසු , මුද්‍රා තීරය (පටිය) Sealing Bar රත් වී, ඇසුරුම මුද්‍රා කරයි. ඒ සමගම ස්වයංක්‍රීයව විවෘත වන කුඩා වායු විවරයක් මගින් යන්ත්‍රය තුලට බාහිර පරිසරයේ වූ වාතය යොමු කෙරේ. අනතුරුව යන්ත්‍රය විවර වී, මුද්‍රාවූ ඇසුරුම ඉවතට යොමු කෙරේ. මෙම ක්‍රමවේදය මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයින් සඳහා වඩාත් යෝග්‍ය වේ. ද්විත්ව කුටීර ආකාරයේ මුද්‍රාකරන Double chamber sealers යන්ත්‍රයන්හි දී ද සිදුවන ක්‍රියාවලිය ඉහත සඳහන් ආකාරය මෙනි. එහෙත් වෙනසකට දැකිය හැක්කේ වැසුම ලෙස ක්‍රියාකරන පියන මාරුවෙන් මාරුවට එහි කුටීර දෙකම වැසීමට යොමුකර ගැනීමයි. ඒ හේතුවෙන් වැඩි ඇසුරුම් නිෂ්පාදන වේගයක් පවත්වාගත හැක. මෙම ක්‍රමය වඩාත් බහුලව යොදාගනුයේ මස් වර්ග, සැකසූ මස් වර්ග, චීස් හා චොකලට් වර්ග ඇසුරුම් කිරීම උදෙසායි.

එමෙන්ම ස්වයංක්‍රියව ක්‍රියාකරන පටි ආකාරයේ කුටීර මුද්‍රාකරන Automatic belt Chamber sealers යන්ත්‍ර භාවිතයේදී කාලය ඉතිරි කර ගැනීම පහසුව සඳහා ස්වයංක්‍රීය වාහක පටිය Automatic conveyor belt ඇසුරෙන් ආහාර  ද්‍රව්‍ය, යොමු කිරීමේ ප්‍රදේශයේ සිට මුද්‍රා  තැබීමේ කුටියට ගෙනයනු ලැබේ. ඉන් අනතුරු පෙර සඳහන් කළ යන්ත්‍රයන්හි පරිදි ද්‍රව්‍ය මුද්‍රා කිරීම සිදුවේ.  එකවර ඇසුරුම වියළීම,හැකිළීම හා ඇසුරුම් කිරීම හේතුවෙන් නිමි නිෂ්පාදනය මනා ලෙස සකසාගත හැකි වේ. මෙම යන්ත්‍ර සැකැස්ම අවශ්‍ය පරිදි වෙනස් කිරීමට වුවද හැකියාව පවතී. විවිධ අවශ්‍යතා මත පදනම්ව විවිධ නිෂ්පාදන උපාංග සමඟ ද ඒකාබද්ධකර මෙම යන්ත්‍ර භාවිතා කළහැකි වේ. 100% මල නොබැඳෙන වානේ වලින් නිපදවා ඇති හෙයින් දිගුකල් භාවිතයට ගතහැකි වේ. එසේම  පිරිසිදු කිරීමට පහසු වන අතර තනි පුද්ගලයෙකුට පහසුවෙන් ක්‍රියාකරවිය හැකි ද වේ. වර්ථමානයේදී ගෘහාශ්‍රීතව පරිහරණය කළහැකි සුළු හා මධ්‍යයම පරිමාණයේ සිට විශාල පරිමාණයේ රික්තක ඇසුරුම් යන්ත්‍ර විවෘත වෙළඳපොලෙන් ආනයනය කර මෙරටට ගෙන්වා ගැනීමට හැකියාව තිබේ.

කුමන ප්‍රමාණයේ වුවද එවැනි යන්ත්‍ර සදහා භාවිතාකරන ඇසුරුම් මාධ්‍ය වර්ග කිහිපයකි.   නිෂ්පාදනයේදි Polyamide (PA) 20 සමග Polyethylene (PE) 70 ක අනුපාතයකට යොදා ගනිමින් ද්විත්ව ස්ථර සහිතව ඝනකම 90 μ ප්‍රමාණයෙන් යුතුව නිපදවන පොලිතීන් බෑග් රික්ත මුද්‍රා කටයුතු උදෙසා යොදා ගැනෙන එක් මාධ්‍යයකි. මෙම බෑග් සිදුරුවීමට ඇති බාධාව වැඩි වේ. මුද්‍රා කෙළවර ශක්තිමත් වේ, රැළි ගැසී කැඩීමෙන් වැළකේ. ඇසුරුම් නිෂ්පාදන ක්‍රියාවලියේදී  -40°C සිට +110°C උෂ්ණත්වයක් දක්වා උණුසුමකට ඔරොත්තු දේ. එසේම එකිනෙක සමගින් Polyester (PET), Aluminum පටල හා Polyethylene (PE) ගලපා ගැනීමෙන් ස්ථර තුනකින් හෝ හතරකින් යුතුව ඝනකම මිලිමීටර 0.1  සිට 0.3  ප්‍රමාණයෙන් යුතුව Aluminum foil vacuum bags නිෂ්පාදනය කරනු ලැබේ. රික්ත මුද්‍රාකිරීමේ දී යොදා ගන්නා පෙර සඳහන් කරන ලද පොලිතීන් ඇසුරුමේ ගුණාංග වලට අතිරේකව මේ ඇසුරෙන් සකසා ගන්නා ඇසුරුම් හි ඇතුලත අඳුරු සහිත පරිසරයක් සකසා ගැනීමට අවස්ථාව උදා කෙරේ. එමෙන්ම අන්තර්ගතයට තෙතමනය හා ජල වාෂ්ප වෙතින් වන බලපෑම් බැහැරකරලීමට ද හැකි වේ.

මේ රසායනික ප්‍රතිකාරක උපයෝගීකර ගැනීම අවම තත්වයන් යටතේ රික්ත හෙවත් වායු රහිතව ආහාර ද්‍රව්‍ය, පැහැදිළි හා දෘෂ්‍ය ලෙස ඇසුරුම් කිරීම තුලින් ඒවායෙහි ස්වයං ජීව කාලය දිගුකර ගැනීමට, නිෂ්පාදන හානිය අවම කරගැනීමට හා පාරිභෝගික ආකර්ෂණය දිනා ගැනිමට ද ව්‍යාපාරිකයින්හට හැකියාව උදාවී තිබේ.

(මෙම ලිපි පෙළ මෙම වෙබ් අඩවියේ ප්‍රකාශයට පත්වන්නේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය DevPro ආයතනයේ මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කරන SMEs කාන්තා ව්‍යවසායිකාවන් ප්‍රවර්ධන කිරීමේ වැඩසටහනේ සහ එහි සන්නවේදන ක්‍රියාකාරකමක් වන SMEs Guide SL වෙබ් අඩවිය සහ SMEs Guide SL සඟරාවේ අනුග්‍රහයෙනි. මෙහි අන්තර්ගතයට අදාළ ආයතන වග නොකියන අතර අන්තර්ගතයේ සම්පූර්ණ වගකීම අදාළ ලේඛකයා සතුවේ – සංස්කාරක)

සටහන – එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ වසර 30 ක් ගොවිපල් යාන්ත්‍රික උපදේශකවරයෙකු ලෙස ද සේවයකර තිබේ. එසේම පෞද්ගලික අංශයේ ආහාර සැකසුම් නිෂ්පාදන ආයතනයක තත්ත්ව පාලන කළමණාකරුවකු වශයෙන් ද සේවය කර ඇත. වසර 2005 සිට 2020 දක්වා ජාතික අධ්‍යාපන ආයතනයේ තාක්ෂණ දෙපාර්තමේන්තුවේ (කෘෂිකර්ම)  හා වසර 2000 සිට 2021  දක්වා ඇක්වයිනාස් විශ්ව විද්‍යාල ආයතනයේ වැවිලි කළමණාකරන පීඨයේ සම්පත්දායකයෙකු ලෙස ද කටයුතු කර ඇත. වසර 2016 සිට මේ දක්වා අධ්‍යාපන අමාත්‍යාංශයේ කෘෂිකර්ම හා පරිසර ඒකකයේ සම්පත්දායකයෙකු ලෙස කටයුතු කරනු ලැබේ. චින මහජන සමූහාණ්ඩුවේ ආධාරමත අවස්ථා දෙකකදී ද  ජපාන තාක්ෂණික ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ අවස්ථා දෙකකදී ද වැඩිදුර අධ්‍යාපනය ලබා ගෙන ඇත.)

Related Posts