ඉන්දියාව සහ රුසියාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ අනෙකුත් බහුපාර්ශ්වික සංවිධාන වලදී ත්‍රස්තවාදයට එරෙහි සහයෝගීතාව පුළුල් කිරීමට එකඟතාව පළකොට ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය උපුටා දක්වමින් ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ මොස්කව්හි පැවති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල න්‍යාය පත්‍රයේ ගැටළු සහ මෑත කාලීන වර්ධනයන් පිළිබඳව දෙපාර්ශවයම පුළුල් පරාසයක සාකච්ඡා පැවැත්වූ බවයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වූයේ 2022 දෙසැම්බර් මාසයේදී එළැඹෙන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙහි ඉදිරි සභාපති ධුර කාලය තුළ ඉන්දියානු නියෝජිත කණ්ඩායම රුසියාවට එහි ප්‍රමුඛතා පිළිබඳව දැනුවත් කළ බවයි.

මෙම සාකච්ඡාව සඳහා ඉන්දීය පාර්ශවය මෙහෙයවනු ලැබුවේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ බටහිර රාජ්‍යතාන්ත්‍රික කටයුතු භාර ලේකම් සංජය වර්මා විසිනි. තවද ඉන්දීය නියෝජිත පිරිසට මොස්කව්හි පිහිටි ඉන්දීය තානාපතිවරයා, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ මොස්කව්හි පිහිටි ඉන්දීය තානාපති කාර්යාලයේ අනෙකුත් නිලධාරීන් ද ඇතුළත් විය.

රුසියානු දූත පිරිස රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සර්ජි වාසිලීවිච් වර්ෂිනින් විසින් මෙහෙයවන ලද අතර රුසියානු විදේශ අමාත්‍යාංශයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද ඇතුළත් විය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ බටහිර රාජ්‍ය තාන්ත්‍රික කටයුතු භාර ලේකම් සංජය වර්මා රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඔලෙග් ව්ලැඩිමිරොවිච් සිරොමොලොටොව් හමුවී ත්‍රස්තවාදයට එරෙහි ගැටළු සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය සහයෝගීතාව සාකච්ඡා කළේය.ඉන්දීය

විදේශ කටයුතු අමාත්‍යාංශ පැවසූයේ ඔහු ආක්ටික් සහයෝගිතා තානාපති නිකොලායි කොර්චුනොව් සමඟ ආක්ටික් ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමට ද නියමිත බවයි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්