රාජකීය මැලේසියානු ගුවන් හමුදාව සහ ඉන්දීය ගුවන් හමුදාව අතර පළමු ඒකාබද්ධ යුද අභ්‍යාසය වන “උදාරශක්ති” මෙම සතිය මුලදී පැවැත්විණ.මෙම අභ්‍යාසය තුලදී දෙපාර්ශවය අතර වෘත්තීයභාවය සහ අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කර ගැනීමට අවස්ථාවක් සැලසින.

රාජකීය මැලේසියානු ගුවන් හමුදාව විසින් පවත්වන ලද සිව් දින අභ්‍යාසය අඟහරුවාදා අවසන් විය. සංකීර්ණ ගුවන් සටන් අභ්‍යාස මාලාවක් හරහා ගුවන් හමුදා දෙක අතර අනෝන්‍ය අවබෝධය වර්ධනය කර ගැනීමට මෙහිදී අවස්ථාව සැලසින.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ මෙම අභ්‍යාසයට සහභාගිවූ දෙරටේ හමුදාවන් ඉහළ වෘත්තීයභාවයක් ප්‍රදර්ශනය කළ බවයි.මැලේසියානු ගුවන් හමුදාවේ SU-30 MKM ගුවන් යානා සමග ඉන්දීය ගුවන් හමුදාවේ SU-30 MKI සහ C-17 ගුවන් යානා උදාරශක්ති අභ්‍යාසයට සහභාගී විය.

දෙපක්ෂයේම ගුවන් යානා හතකින් සමන්විත ගුවන් ගමන් වාරයක් සහ ගුවන් හමුදා නායකයින් අතර සමරු තිළිණ හුවමාරු කර ගැනීමෙන් මෙම අභ්‍යාසයේ සමාප්තිය සනිටුහන් කරන ලදී.

ගුවන් හමුදා දෙකෙහි වෘත්තීය හැකියාවන්, අන්‍යෝන්‍ය අවබෝධය සහ හවුල් කැපවීම මෙම අභ්‍යාසයේ පළමු අදියර සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීම තුළින් පිළිබිඹු වන බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

ඉන්දීය ගුවන් හමුදාව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේ ඉන්දීය ගුවන් හමුදා කණ්ඩායම රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාව විසින් සත්කාරකත්වය සපයන පිච් බ්ලැක්-22 ගුවන් අභ්‍යාසයට සහභාගී වීමට ඕස්ට්‍රේලියාවේ ඩාර්වින් ගුවන් හමුදා කදවුර වෙත ගමන් කරන බවයි.

ඉන්දියාව සහ මැලේසියාව ආරක්ෂක ක්ෂේත්‍රය ඇතුළුව සමීප ද්විපාර්ශ්වික සබඳතා භුක්ති විඳිති. මැලේසියානු නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ටෑන් මොහොමඩ් රේසා බින් මොහොමඩ් සානි දෙපාර්ශවය අතර ශක්තිමත් සමුද්‍රීය කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරතව සිටී.

ඉන්දියානු ගුවන් හමුදාවට අමතරව ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, ජපානය, එක්සත් ජනපදය, ජර්මනිය, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, එක්සත් රාජධානිය සහ දකුණු කොරියාව යන රටවල් මෙම බහුපාර්ශ්වික අභ්‍යාසට සහභාගි වේ.