ඉන්ධන මිල වැඩි කිරීමක් හෝ බදු සහන යළිත් ඉල්ලයි

Spread the love

ඉන්ධන ආනයනය හා සම්බන්ධයෙන් උද්ගතව පවතින ගැටලුවලට මුදල් අමාත්‍යංශයෙන් විසඳුමක් ලබා නොදුනහොත් ලබන ජනවාරියේ සිට ඛනිජතෙල් නීතිගත සංස්ථාවට තෙල් ආනයනය කිරීමට නොහැකි වන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මුදල් අමත්‍යවරයා වෙත දැනුම් දී තිබෙනවා.

මෙහිදී බලශක්ති අමත්‍යවරයා විසින් මුදල් අමාත්‍යවරයා වෙත යෝජනා කර ඇත්තේ ඛනිජ තෙල් මත පනවා ඇති ආනයන බදු අඩු කිරීම හෝ තෙල් මිල ඉහළ දැමීම යන විකල්ප දෙකෙන් එකක් ගත යුතු බවයි. එසේම IOC පිරවුම් හල්වල ඉන්ධන මිල ඉහළ දැමුවහොත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පිරවුම්හල් සඳහා වැඩි පාරිභෝගිකයන් ප්‍රමාණයක් ඇදී ඒම නිසා තව දුරටත් සංස්ථාවේ පාඩුව ඉහළ යනු ඇතැයි ද ඇමැතිවරයා පෙන්වා දී තිබෙනවා.

ගතවූ මාස නමය තුළ තෙල් සංස්ථාවේ පාඩුව රුපියල් කෝටි 8300ක් බවත් මේ වසර අවසන් වනවිට එය කෝටි 12,000 ක් වනු ඇතැයි ගණන් බලා ඇති බවත් ගම්මන්පිල මහතා වැඩි දුරටත් පෙන්වා දී තිබෙන ඇමතිවරයා ලබන 21 වැනිදා සංචරණ සීමා ඉවත් කිරීම සමග ඉන්ධන ඉල්ලුම තව දුරටත් ඉහළ යනු ඇති බව ද පෙන්වා දී තිබෙනවා.

මේ අතර ඉන්ධන මිල ඉහළ දමන ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් අද (18) නැවත ඉල්ලීමක් කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥා සුමිත් විජේසිංහ මහතා පැවසුවා.

ලෝක වෙළෙඳපොලේ ඛනිජ තෙල් මිල අඛණ්ඩව ඉහළ යෑමත් සමඟ ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව ද වැඩි වීම නිසා එම ඉල්ලීම නැවත කළ බව කී සභාපතිවරයා රජය වර්තමාන තත්වය පිළිබඳව අවධානය යොමු කර මිල ඉහළ දැමීමකට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

ඛනිජ තෙල් සංස්ථාව මේ වන විට පෙට්‍රල් ලීටරයකින් රුපියල් 16 ක ද, ඩීසල් ලීටරයකින් රුපියල් 30 ක ද, පාඩුවක් ලබන බවත් ලෝක වෙළෙඳපලේ බොරතෙල් මිල ඉදිරියේදී තව දුරටත් ඉහළ යෑම මත පාඩුව වැඩි වන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥා සුමිත් විජේසිංහ මහතා කීය.

Related Posts