ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට අවධානය

Spread the love
  • බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට ප්‍රමුඛතාව.
  • සාම්පූර් සූර්ය විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජූලි මාසයේ දී ඇරඹේ.
  • මෙරට දියර කිරි කර්මාන්තය නඟා සිටුවීමට සහ පොහොර නිෂ්පාදනයට ද ඉන්දියාවේ සහාය.

බලශක්ති ක්ෂේත්‍රයට අදාළව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක ඒකාබද්ධ ව්‍යාපෘති කඩිනම් කර ජනතාවට එහි ප්‍රතිලාභ උදාකරදීම පිළිබඳව අවධානය යොමු කෙරේ.

මෙරට සංචාරයක නිරත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර අද (20) කොටුව ජනාධිපති මන්දිරයේ පැවති නිල හමුවෙන් අනතුරුව පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

බලශක්ති සම්බන්ධතාව සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සංවර්ධනය, LNG සැපයුම, දෙරට අතර ඉදි කිරීමට යෝජිත ඛනිජතෙල් නළ මාර්ගය සහ තෙල් හා ගෑස් ගවේෂණ ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමුවිය.

සාම්පූර් සූර්ය විදුලි බලාගාරයේ ඉදිකිරීම් 2024 ජුලි මාසයේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව ද අනාවරණය කෙරිණි.

ශ්‍රී ලංකාවේ දියර කිරි කර්මාන්තය නඟා සිටුවීම සඳහා ඉන්දීය රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක කර තිබෙන ව්‍යාපෘති කාර්යක්ෂම කිරීම සහ පොහොර නිෂ්පාදනයට අදාළ ව්‍යාපෘති කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය.

ත්‍රිකුණාමලය සංවර්ධනය සහ කන්කසන්තුරෙයි වරාය පුළුල් කිරීම වෙනුවෙන් ඉන්දීය රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳව ද සාකච්ඡා විය.

එසේම ඉන්දීය රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක යාපනය ගුවන්තොටුපොළ සහ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සහ මෙරට ඩිජිටල්කරණයේ මූලික පියවර ලෙස ක්‍රියාත්මක ශ්‍රී ලංකාවට අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය කඩිනම් කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

Related Posts