ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් නිව් යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරයට සහභාගී වීමට එක්සත් ජනපදයට පැමිණ ඇත.

ඔහුගේ සංචාරය අතරතුර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපතිවරුන් තිදෙනෙකු සහ විදේශ අමාත්‍යවරුන් හතර දෙනෙකු ඇතුළුව ලෝකයේ විවිධ ප්‍රදේශ වල ප්‍රභූවරුන් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා කළේය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ඝානාවෙහි ජනාධිපති නානා අකුෆෝ-අඩ්ඩූ සහ කොමරෝස්හි ජනාධිපති අසාලි අසූමනි හමුවිය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් විසින් ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් හමුවීම ගැන ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් සමග යුක්රේනයේ ගැටුම සහ ගෝලීය දකුණ ප්‍රවනතාවය හා එහි නව මානයන් පිළිබඳව සංවාදයක නිරත වූ බවයි. එමෙන්ම මෙම අභියෝගාත්මක කාල පරාසයේදී ජී-20 හි වැදගත්කම ආවරණය කළේය.

ඝානා ජනාධිපති නානා අකුෆෝ-අඩ්ඩූ හමුවීම ගැන ඔහු ට්විටර් පණිවුඩයක් ද නිකුත් කළේය.එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ අඛණ්ඩ සහයෝගීතාවය සහ ත්‍රස්තවාදයට එරෙහි වීම පිළිබඳව ඵලදායි සාකච්ඡාවක් පැවැත්වූ බව ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් යොදා තිබිණි.

කොමරෝස්හි ජනාධිපති අසාලි අසූමනි සමඟ ඔහු හමුවීම ගැන ට්වීට්ර් සටහනක් යොදමින් ඔහු ලියා තිබුණේ කොවිඩ්-19 සහ ඩෙංගු වලට එරෙහිව සටන් කිරීම සඳහා ඉන්දියාව ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව ඔහු අගය කළ බවයි. එමෙන්ම සමුද්‍රීය කටයුතු සම්බන්ධයෙන් සහ සංවර්ධන හවුල්කාරිත්වය ඉදිරියට ගෙනයාම පිළිබඳව ඔහු සමග සාකච්ඡා කළ බව සිය ට්වීටර් පණිවිඩයේ දක්වා තිබිණ.

ඊට අමතරව, ඔහු නිකරගුවාවේ විදේශ අමාත්‍ය ඩෙනිස් මොන්කාඩා,ඔස්ට්‍රියාවේ විදේශ අමාත්‍ය ඇලෙක්සැන්ඩර් ෂැලන්බර්ග්, ලිබියාවේ විදේශ ඇමති නජ්ලා අල්-මන්ගුෂ් සහ තුර්කියේ විදේශ අමාත්‍ය මෙව්ලූට් කැවුසොග්ලු යන අය සමග ද සාකච්ඡා පැවැත්වීය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ඉහළ පෙළේ සමුළුවට සහභාගී වීම සඳහා ඉරිදා නිව්යෝර්ක් වෙත පැමිණියේය.ඔහු ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සාකච්ඡා ඇතුළුව විධිමත් කටයුතු 50කට මෙම සතිය තුල සැලසුම් කර ඇත.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්