ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් අගෝස්තු 31 සිට සැප්තැම්බර් 2 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත වේ. ඔහු එම සංචාරයේදී 3 වන ඉන්දියා-එක්සත් අරාබි එමීර් රාජ්‍ය උපායමාර්ගික සංවාදයට සහ දෙරට අතර 14 වන ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීමට සම සභාපතිත්වය දීමට නියමිතය. මෙම අවස්ථාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් එරට විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයීඩ් අල් නහියන් සහභාගී වීමට නියමිතය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය දක්වන ආකාරයට ජයශංකර්ගේ මෙම සංචාරයේදී ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය සහ කලාපීය සහ ගෝලීය වර්ධනයන් සමාලෝචනය කිරීමට අමාත්‍යවරුන් දෙදෙනාටම අවස්ථාව සැලසෙනු ඇත. මෙම සංචාරයේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අනෙකුත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රභූවරුන් ද හමුවනු ඇකි බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ජූනි 28 දින අබුඩාබිහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් හමුවිය.2022 වර්ෂයේ දී ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉහල මට්ටමේ සංචාර සිදු කොට ඇත

පසුගිය පෙබරවාරි 18 වන දින දෙරට අතර පැවති මාර්ගගත අතථ්‍ය සමුළුව අතරතුර ඉන්දියාව-එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම අත්සන් කරන ලදී.දෙරටේ නායකයන් ජූලි 14 වැනි දින පැවති I2U2 සමුළුවට ද සහභාගි වූහ.

අගෝස්තු 23-24 දිනවල පැවති ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීමේදී වෙළඳාම, ආයෝජන, සම්ප්‍රදායික සහ පුනර්ජනනීය බලශක්ති, ආහාර සුරක්ෂිතතාව, සෞඛ්‍ය, නිපුණතා සංවර්ධනය, අධ්‍යාපනය, සංස්කෘතිය, ආරක්‍ෂාව, අභ්‍යවකාශය, කොන්සියුලර් ගැටළු සාකච්ඡාවට ගැනිණ. එමෙන්ම විවිධ ක්ෂේත්‍රවල හවුල්කාරිත්වය තුළ ඉදිරියට යාමට ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කැපවී සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය