ඉන්දියාව සහ කිර්ගිස් ජනරජය අතර 12 වැනි විදේශ කාර්යාල උපදේශන වටය සඳුදා බිෂ්කෙක් හි පැවැත් විණ. මෙහිදි වෙළඳාම සහ ආයෝජන වැඩි කිරීමේ ක්‍රම පිළිබඳව ඔවූන් සාකච්ඡා කළහ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව දෙපාර්ශවය දේශපාලන, ආර්ථික, වාණිජ, ආරක්ෂක, සංවර්ධන හවුල්කාරිත්වය, ධාරිතා ගොඩනැගීම, අධ්‍යාපනය, කොන්සියුලර් කටයුතු, සංස්කෘතික සහයෝගීතාව සහ සම්බන්ධතා ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ඔවුන්ගේ ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව විදේශ කාර්යාල උපදේශන අතරතුර, පුළුල් සමාලෝචනයක් සිදු කර ඇත.

2022 ජනවාරි 27 වැනි දින පැවැති පළමු ඉන්දීය මධ්‍යම ආසියානු සමුළුවේදී ගනු ලැබූ තීරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳව දෙපාර්ශ්වය විසින් විමර්ශනය කරන ලදී. දෙරට අතර වෙළෙඳාම සහ ආයෝජන ඉහළ නංවා ගන්නේ කෙසේද යන්න ද මෙම සාකච්ඡාවට ඇතුළත් වූ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

ඉන්දියාව සහ කිර්ගිස් ජනරජය අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන කලාපීය සහ ජාත්‍යන්තර කරුණු පිළිබඳව ද අදහස් හුවමාරු කරගත්තේය. එක්සත් ජාතීන්ගේ සහ අනෙකුත් බහුපාර්ශ්වික සංසදවල ඔවුන්ගේ සහයෝගීතාව ශක්තිමත් කිරීමට ඔවූන් එකඟ විය.

ඉන්දීය දූත පිරිස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ බටහිර රාජ්‍යතාන්ත්‍රික කටයුතු භාර ලේකම් සංජය වර්මා විසින් මෙහෙයවන ලදී. කිර්ගිස් දූත පිරිස විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අයිබෙක් මුහතරොවිච් ආර්ටික්බෙව් විසින් මෙහෙයවන ලදී.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ බටහිර රාජ්‍යතාන්ත්‍රික කටයුතු භාර ලේකම් වර්මා විසින් කිර්ගිස් ජනරජයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය ආර්ටික්බෙව්ට අන්‍යෝන්‍ය වශයෙන් පහසු දිනයක පැවැත්වීමට නියමිත විදේශ කටයුතු කාර්යාල උපදේශනවල මීළඟ වටය සඳහා ඉන්දියාවට පැමිණෙන ලෙස ආරාධනාවක් කළේය.

මෙම සංචාරය අතරතුර, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ බටහිර රාජ්‍යතාන්ත්‍රික කටයුතු භාර ලේකම් විසින් කිර්ගිස් ජනරජයේ ඩිජිටල් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉන්දිරා ෂර්ෂෙනෝවා සමඟ ද හමුවක් පැවැත්වීය.එහිදී ඉන්දියාවේ ඩිජිටල් මුලපිරීම් වලින් අත්දැකීම් හුවමාරු කර ගැනීම ඇතුළුව තොරතුරු තාක්ෂණ අංශයේ සහයෝගීතාවයේ හැකියාවන් සාකච්ඡා කරන ලද බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්