ඇමෙරිකාවට හිසරදයක් වූ ‘විකිලීක්ස් නිර්මාතෘ‘ ගැන අලුත්ම පුවත

Spread the love

වසර ගණනාවක් පුරා ක්‍රියාත්මක වුණු නඩුහබවලින් පසු, අපරාධ චෝදනාවලට වරද පිළිගැනීමටත් සහ ඉන්පසු නිදහස් කිරීමටත් එක්සත් ජනපද බලධාරීන් සමග ඇති කරගත් එකඟතාවකින් අනතුරුව ජූලියන් අසාන්ජ් එක්සත් රාජධානියෙන් පිටව ගොස් ඇතැයි විකිලීක්ස් පවසයි.

52 හැවිරිදි අසාන්ජ්ට ජාතික ආරක්ෂාව සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට සහ ඒවා හෙළි කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල විය. ඉරාක සහ ඇෆ්ගනිස්ථාන යුද්ධ පිළිබඳ තොරතුරු හෙළි කළ විකිලීක්ස් ලිපිගොනු ජීවිත අනතුරේ හෙළන බවට වසර ගණනාවක් තිස්සේ එක්සත් ජනපදය වාද කර තිබිණි.

අසාන්ජ් පසුගිය වසර පහ ගත කළේ බ්‍රිතාන්‍ය සිරගෙයක වන අතර, එහි සිට ඔහු එක්සත් ජනපදයට පිටුවහල් කිරීමට එරෙහිව සටන් කරමින් සිටියේ ය.

බීබීසී පුවත් සේවයේ ඇමෙරිකාවේ හවුල්කාර පුවත් සේවාව වන සීබීඑස් පුවත් සේවයට අනුව, අසාන්ජ්ට එක්සත් ජනපද සිරභාරයේ සිටීමට සිදු නොවනු ඇති අතර ඔහු එක්සත් රාජධානියේ සිරගතව සිටි කාලය සඳහා ඔහුට සහනයක් ලැබෙනු ඇත.

අධිකරණ දෙපාර්තමේන්තුවෙන් ලද ලිපියක දැක්වෙන්නේ, අසාන්ජ් නැවත ඔස්ට්‍රේලියාවට බලා යන බව ය.

මීට පෙර ට්විටර් ලෙස හැඳින්වූ Xහි විකිලීක්ස් පැවසුවේ, කුඩා සිර මැදිරියක දින 1,901ක් ගත කිරීමෙන් පසු අසාන්ජ් සඳුදා බෙල්මාර්ෂ් බන්ධනාගාරයෙන් පිටව ගිය බව ය.

පසුව ඔහු “දහවල් කාලයේදී ස්ටැන්ස්ටඩ් ගුවන්තොටුපළේදී නිදහස් කරන ලද අතර එහිදී ඔහු ගුවන් යානයකට නැග එක්සත් රාජධානියෙන් පිටත්ව ගොස් නැවත ඔස්ට්‍රේලියාව බලා ගිය බව” එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් විය.

විකිලීක්ස් විසින් ඉන්ටර්නෙට්හි පළ කරන ලද වීඩියෝවක ඩෙනිම් කලිසමකින් සහ නිල් පැහැති කමිසයකින් සැරසී සිටින අසාන්ජ් ගුවන් යානයට ගොඩවීමට පෙර ස්ටැන්ස්ටඩ් ගුවන්තොටුපළ වෙත මෝටර් රථයකින් රැගෙන ගෙන යන ආකාරය පෙනේ.

නමුත් මෙම වීඩියෝව ස්වාධීනව සත්‍යාපනය කිරීමට බීබීසීයට නොහැකි වී ඇත.

ඔහුගේ බිරිඳ ස්ටෙලා අසාන්ජ්, “මෙය සැබෑ කර ගැනීම සඳහා වසර ගණනාවක් තිස්සේ එක් වූ” ඔහුගේ ආධාරකරුවන්ට ස්තුති කරමින් ට්වීටර් පණිවිඩයක් තැබීය.

ඔහුට එරෙහි එක් චෝදනාවක් සම්බන්ධයෙන් වරද පිළිගැනීම සඳහා එළඹි මෙම එකඟතාව ජූනි 26 වන බදාදා උතුරු මරියානා දූපත්හි අධිකරණයකදී අවසානයකට ගෙන ඒමට අපේක්ෂා කෙරේ.

එක්සත් ජනපද පොදුරාජ්‍ය මණ්ඩලයීය භූමි ප්‍රදේශයක් වන මෙම දූරස්ථ පැසිෆික් දූපත් සමූහය හවායි හෝ ඇමෙරිකානු මහාද්වීපවල පිහිටා ඇති එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණවලට වඩා ඔස්ට්‍රේලියාවට බෙහෙවින් සමීප ය.

ඒජන්ස් ෆ්‍රාන්ස් ප්‍රෙස් වෙත අදහස් දැක්වූ ඔස්ට්‍රේලියානු රජයේ ප්‍රකාශකයෙකු පැවසුවේ, මෙම නඩුවට “කල් ගත වුණා වැඩි යි” යනුවෙනි.

ඔහුගේ නීතීඥ රිචඩ් මිලර් සීබීඑස් විසින් සම්බන්ධ කර ගන්නා ලද අවස්ථාවේ අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේ ය. බීබීසීය එක්සත් ජනපදයේ සිටින ඔහුගේ නීතිඥවරයා සම්බන්ධ කර ගැනීමට ද කටයුතු කළේ ය.

ඔහු සහ ඔහුගේ නීතීඥයින් දිගු කලක් තිස්සේ කියා සිටියේ, ඔහුට එරෙහි නඩුව දේශපාලන අරමුණු මත සිදු වූවක් බව ය.

අප්‍රේල් මාසයේදී, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් කියා සිටියේ, අසාන්ජ්ට එරෙහි නඩුව ඉවත දමන ලෙස ඔස්ට්‍රේලියාව කළ ඉල්ලීම සලකා බලන බව ය.

ඊළඟ ජයග්‍රාහී මාසයේදී එක්සත් රාජධානියේ මහාධිකරණය අසාන්ජ්ට තමා එක්සත් ජනපදයට පිටුවහල් කිරීමට එරෙහිව නව අභියාචනයක් ගෙන ආ හැකි බවට තීන්දු කළේ ය. ඒ, ඔහුට ඔහුගේ අනාගත නඩු විභාගය පවත්වනු ලබන ආකාරය සහ ඔහුගේ භාෂණයේ නිදහස උල්ලංඝණය වන්නේ ද යන්න පිළිබඳ එක්සත් ජනපදය ලබා දුන් සහතිකවලට අභියෝග කිරීමට ඉඩ සලසමිනි.

එම තීන්දුවෙන් පසු ඔහුගේ බිරිඳ ස්ටෙලා වාර්තාකරුවන්ට සහ ආධාරකරුවන්ට පැවසුවේ බයිඩන් පරිපාලනය “මෙම නින්දිත නඩු කටයුත්තෙන් ඈත් විය යුතු” බව ය.

ඇෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේ යුද්ධවලට අදාළ එක්සත් ජනපද රහස්‍ය මිලිටරි වාර්තා සහ රාජ්‍යතාන්ත්‍රික පණිවිඩ හෙළි කිරීම සම්බන්ධයෙන් – බොහෝ දුරට ඔත්තු බැලීමේ පනත යටතේ – විකිලීක්ස් නිර්මාතෘට චෝදනා 18ක් යටතේ නඩු පැවරීමට එක්සත් ජනපද පැමිණිලිකාර පාර්ශවයට මුලිදී අවශ්‍ය විය.

2006 වසරේදී අසාන්ජ් විසින් ආරම්භ කරන ලද විකිලීක්ස්, ලේඛන මිලියන 10කට වඩා ප්‍රකාශයට පත් කර ඇතැයි පැවසෙන අතර එක්සත් ජනපද රජය පසුව එය විස්තර කළේ, “එක්සත් ජනපද ඉතිහාසයේ සිදු වූ විශාලතම රහස්‍ය තොරතුරු හෙළිදරව් කිරීම” ලෙසිනි.

2010 වසරේදී, මෙම වෙබ් අඩවිය එක්සත් ජනපද මිලිටරි හෙලිකොප්ටරයක සටහන් වී තිබුණු වීඩියෝවක් පළ කරන ලද අතර එහි රොයිටර්ස් පුවත් වාර්තාකරුවන් දෙදෙනෙකු ඇතුළු ඉරාක සිවිල් වැසියන් 12 දෙනෙකුට අධික පිරිසක් ඝාතනය කරන අයුරු සටහන් වී තිබිණි.

අසාන්ජ්ගේ සුප්‍රසිද්ධ සහකාරියක වන එක්සත් ජනපද හමුදා බුද්ධි විශ්ලේෂක චෙල්සි මැනිං 2017 වසරේදී එවකට ජනාධිපති බැරක් ඔබාමා ඇගේ දඬුවම ලිහිල් කිරීමට පෙර වසර 35ක සිර දඬුවමකට යටත්ව සිටියා ය.

අසාන්ජ්ට ස්වීඩනයේදී ස්ත්‍රී දූෂණ සහ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වෙන ම චෝදනා එල්ල වූ අතර, ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කළේ ය.

ස්වීඩන්හි ක්‍රියාත්මක නඩුව ඔහුව එක්සත් ජනපදයට යැවීමට හේතු වනු ඇතැයි කියමින්, ඔහු වසර හතක් ඉක්වදෝරයේ ලන්ඩන් තානාපති කාර්යාලයේ සැඟවී සිටියේ ය.

ස්වීඩන් බලධාරීන් 2019දී නඩුව ඉවත දැමීමට පියවර ගත් අතර මුල් පැමිණිල්ලේ සිට බොහෝ කාලයක් ගත වී ඇතැයි පැවසීය. නමුත් එක්සත් රාජධානියේ බලධාරීහු පසුව ඔහුව අත්අඩංගුවට ගත්හ. ස්වීඩනයට පිටුවහල් කිරීම සඳහා අධිකරණයට භාර නොවීම සම්බන්ධයෙන් ද ඔහුට නඩු පැවරිණි.

දිගුකාලීන නීතිමය සටන් මධ්‍යයේ වුව ද, අසාන්ජ් ප්‍රසිද්ධියේ දක්නට ලැබුණේ කලාතුරකිනි. ඔහු 2021 වසරේදී සිරගතව සිටියදී කුඩා ආඝාත තත්ත්වයකට මුහුණ දීම ඇතුළුව වසර ගණනාවක් තිස්සේ දුර්වල සෞඛ්‍ය තත්ත්වකින් පීඩා විඳි බවට වාර්තා විය.

Sources by – bbc sandesaya

Related Posts