ආන්දෝලනාත්මක සුදු කොඩි නඩුවේ තීන්දුව නොවැම්බර් 18 වැනිදා

Spread the love

සුදු කොඩි නඩුවේ තීන්දුව ලබන නොවැම්බර් 18 වැනිදා ප‍්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ ති‍්‍ර පුද්ගල විනිසුරු මඩුල්ල අද (18 ඔක්.) ප‍්‍රකාශ කළහ.

විත්තියේ තීතීඥ නලින් ලද්දුව හෙට්ටි මහතාගේ විත්තියේ දේශන අද අවසන් කිරීමෙන් පසුව ති‍්‍ර පුද්ගල විනිසුරු මඩුල්ල මෙම ප‍්‍රකාශය කළහ.

වසරකට ආසන්න කාලයක් දිපාලි විජේසුන්දර (සභාපති විනිසුරු), ඩබ්ලිව්. ටී. එම්.පී.බී. වරාවැව හා ඉසෙඞ්. රෂින් යන ති‍්‍ර පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාගයට ගැනිණි.

මෙහි වග උත්තරකරුවා ලෙස නම් කර සිටින හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට මෙතෙක් බන්ධනාගාර කුටිය තුළට ලබාදි තිබූ විදුලි පංකාව, රූපවාහිනිය හා උණුවතුර පහසුකම් ලබන නොවැම්බර් 18 වැනිදා දක්වා එලෙසම ලබාදීමට ද ති‍්‍ර පුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළහ.

මේ අතර සුදුකොඩි නඩුව පසුපස සිටින්නේ භාරත ලක්‍ෂ්මන් මහතාගේ නඩුවේ චූදිතයා ආරක්‍ෂා කරන දේශපාලඥයා බව හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඔහු ඒ බව පැවසුවේ, අද (18 ඔක්.) පැවති සුදු කොඩි නඩුවේ සාක්ෂි විමසීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් සමග කොළඹ මහාධිකරණයෙන් පිටව යන අතරතුරදීය.

මෙහිදී මාධ්‍යෙව්දීන් ඇමතූ ඔහු

’සුදුකොඩි නඩුව අවරුදු 1 1/2ක් ඇදගෙන ගියා. ආණ්ඩුවේ සල්ලි නාස්ති කළා. මේකේ තීන්දුව දෙන්න නීති විශේෂඥයෙක් වෙන්න ඕනෙ නෑ. යුක්තිය අසාධාරණය දන්න ඕනෙම කෙනෙකුට මේකට තීන්දුව දෙන්න පුළුවන්. මේක පිටිපස්සෙ ඉන්නේ භාරත ලක්‍ෂ්මන් නඩුවේ චූදිතයා ආරක්‍ෂා කරන දේශපාලඥයායි. අපි ඒකට බය නැතුව මුහුණ දෙනවා.’ යැයි පැවසීය.

මෙම අවස්ථාවේදී අධිකරණය ඉදිරිපිට සිටි භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් සෙත්පිරිත් සජ්ජායනාවද සිදුකළ බවද වාර්තා වේ.

RSL

Related Posts