ආනයන – අපනයන ව්‍යාපාරවල ගැටළු විසඳීමට කඩිනම් අවධානය

Spread the love

අපනයන ව්‍යාපාර ව්‍යාපාරවල නියුතු ආයෝජකයින්ගේ ගැටළු විසඳීම සඳහා කඩිනම් පියවර ගතයුතු බව  තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් සංවර්ධන හා ව්‍යවසාය කටයුතු රාජ්‍ය අමාත්‍ය, ගම සමග පිළිසදරක්  ග්‍රාමීය  සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා රේගුව මඟින් භාණ්ඩ නිදහස් කිරිමට පෙර අනුමත සහතික ලබා ගත යුතු ආයතනවල ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමේ අරමුණින් අදාළ ආයතන ප්‍රධානීන් සමඟ අරලියගහ මන්දිරයේ ඊයේ  (17) පැවති සාකච්ඡාව මෙහෙයවමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ  මහතා මේ බව සඳහන් කළේය.

රේගුව විසින් භාණ්ඩ නිදහස් කිරීමේ දී සිදුවන ප්‍රමාදයන් හා සාම්පල් පරික්ෂාවට ගතවන කාලය දීර්ඝ වීමෙන්, තත්ත්ව සහතික ලබා දීමේ දී සිදුවන ප්‍රමාදය නිසා අධික ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවීම පිළිබඳව, මෙහිදී විශේෂ අවධානයට යොමු විය. ආනයන අපනයන ක්‍රියාවලිය සඳහා දායක වන රාජ්‍ය ආයතන අතර නිසි සබඳතාවක් නොමැති වීමත් භාණ්ඩ නිදහස් කිරීම ප්‍රමාද වීමට බලපාන බව මෙහිදී අනාවරණය විය.

සාම්පල් පරික්ෂාව සහ තත්ත්ව සහතික ලබා දීමකින් තොරව භාණ්ඩ නිදහස් කිරීමට නොහැකි බව මෙහි දී රේගු නිලධාරීන් විසින් පෙන්වා දුන්නේය. භාණ්ඩ නිදහස් කිරීමේ දී  තත්ත්ව සහතික ලබා ගත යුතු සහ එසේ නොගත යුතු  භාණ්ඩ ද පවතින බවත් ඒ හේතුවෙන් ගුණාත්මක බවින් අඩු විදේශීය භාණ්ඩ වෙළඳපොලට නිකුත්වීමේ අවධානමක් පවතින බවත් නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්නේ ය. ප්‍රති අපනයනය කිරීමේ ක්‍රියාවලියේ දී දේශීය වෙළදපොලට භාණ්ඩ නිකුත්වන බවට කරුණු අනාවරණය වී ඇති බව ද මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ ය.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය සමඟ ආනයන අපනයන ක්‍රියාවලිය කඩිනම් කිරීමට කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිර්ඝ කාලීන ක්‍රමවේද වලට යා යුතු බවද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක ජනාධිපති කාර්යසාධන බලකාය මඟින් මේ ගැටළු නිරාකරණය සඳහා අවශ්‍ය අනුකමිටු පත් කර, අදාළ රේඛීය අමාත්‍යාංශ සමඟ එක්ව ගැටළු නිරාකරණයට අදාළ කරුණු සාකච්ඡා කරන බවත්, පසුව, සියළු ආයතන එක්ව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමට කඩිනමින් කටයුතු කරන බවත්, අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යංශය, ප්‍රමිති ආයතනය ඇතුළු අදාළ ආයතන සමඟ එක්ව ජාත්‍යන්තර තත්ත්ව සහතිකවලට සමානව දේශීය තත්ත්ව සහතිකවල පවතින පරස්පරතා නැති කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය. බහාලුම් නිදහස් කිරිමේ කටයුතු කඩිනම් කිරීම සඳහා වරාය තුළ ප්‍රමිති ආයතනයේ ශාඛාවක් ආරම්භ කරන ලෙස ද, අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේ ය. වරාය තුළ පවතින ගැටළු නිරාකරණය කිරිම සඳහා විෂය භාර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඉදිරි සතිය තුළ විශේෂ සාකච්ඡාවක් පවත්වන බව ද, අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

මෙම අවස්ථාවට කැබිනට් අමාත්‍යවරුන් වන රෝහිත අබේගුණවර්ධන, රමේෂ් පතිරණ, කංචන විජේසේකර හා රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, අජිත් නිවාඩ් කබ්රාල්, අරුන්දික ප්‍රනාන්දු යන අය සහ අදාළ අමාත්‍යංශවල ලේකම්වරුන්, රාජ්‍ය ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.

Related Posts