
“රට ගොඩනගන්න නිර්මාණශීලී පුද්ගලයන් සහ වෘත්තිකයන් බිහි කරන අත්තිවාරම මේ ලෙස විනාශ වෙලා යනවා. සහෝදරත්වය, බෙදාහදා ගැනීමේ හැඟීම්, අහිමි දරුවන් අනාගතයේ අභියෝග බාර ගන්නේ කොහොමද? දරුවන්ගේ පැත්තෙන් මේ ප්‍රශ්න තියෙනවා වගේම අද වෙනකොට පෙරපාසැල් ගුරුවරිය විශාල පීඩනයකට ලක්වෙලා ඉන්නේ. පෙරපාසැල් ගුරුවරුන්ගේ ඇත්ත ජීවන තත්වය ඉතාමත් ඛේදනීයයි. බොහෝ තැන් මාසික කුලී පදනම මත ලබාගෙන දැන් ගෙවාගන්න බැරිව ඉන්නෙ. අනික් පැත්තෙන් පෙරපාසැල් පාලිකාවෝ යටතේ සහායට හිටපු ගණනාවකට කිසිම පිළිසරණක් නැහැ. පෙරපාසැල් ගුරුවරියන් මෙහෙකාර සේවයේ යෙදෙන තත්වයට පත්වී ඇති බව දැනගන්න ලැබී තිබෙනවා. මේ ආණ්ඩුව පෙරපාසැල් ගුරුවරියන් යාචිකාවන් කියලයි හිතන්නේ.” යැයි අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ අවධාරණය කරයි.
ඇය මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (03) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.
එම මාධ්‍ය හමුවේදී පෙර පාසැල් පාලිකා රිෂානා සිනාස්, පෙර පාසැල් පාලිකා අයි. ඒ. රොෂාන්ති යන අයද අදහස් දැක්වූ අතර සම්පූර්ණ මාධ්‍ය හමුව පහතින් පල වේ.
“මේ වනතුරුත් රටේ අනාගතය බාර ගන්න ඉන්න දරුවන්ගේ පෙරපාසැල් අධ්‍යාපනය ගැන ආණ්ඩුවේ කිසිදු අවධානයට ලක්වෙලා නැහැ. මීට අවුරුද්දකට කලින් අයිතීන් උදෙසා කාන්තාවෝ සහ පෙරපාසැල් ගුරු සංසදය විදිහට රටේ ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පැවැත්වූවා. ඒ වගේම පෙරපාසැල් පාලනයට තිබෙන සියලුම ආයතනවල නිළධාරීන් හමුවී ලිඛිතව පෙරපාසැල් පද්ධතියේ ඇතිවිය හැකි ගැටළු ගැන විස්තර සහිතව පැහැදිළි කර දුන්නා. අවුරුද්දකට පස්සේ අද බරපතළ ගැටළු රැසක් ඇතිවී තිබෙනවා.
පෙරපාසැල් දරුවාගෙන් පටන්ගෙන පැහැදිළි කරන්නම්. අවුරුදු දෙකේ ඉඳලා පහ වෙනකම් දරුවන් පූර්ව ළමාවිය කියලා හඳුන්වනවා. මේ අයගේ බුද්ධි වර්ධනයේ 80%ක් මේ ළමා වියේදී වේගයෙන්ම වර්ධනය වෙනවා. අධ්‍යාපනයට දරුවා සූදානම් කරන්නේ සහ ගෙදරින් සමාජානුයෝජනයට හුරු කරවන්නේත් පෙරපාසැල්වලින්. ඒ නිසා පෙරපාසැලට සුවිශේෂී වැදගත්කමක් තියෙනවා. පෙරපාසැල් ගුරුවරියන් ඒ පාසැල් තුළ පරිසරය ගොඩානගන්නේ දරුවාගේ බුද්ධි වර්ධනයට අදාළ පසුබිමකින්. නමුත් පවතින කොරෝනා තත්වය හමුවේ පෙරපාසැල් පද්ධතියම බිඳ වැටිලා. කොරෝනා නිසා අනික් හැම දේම වැහුවත් දරුවන්ගේ බුද්ධි වර්ධනය වහන්න බැහැ. එය හැමදාම සිද්ධ වෙනවා. බුද්ධි වර්ධනයට අවශ්‍ය දම්වැලක් වූ හසල කුසලතා පෙරපාසලක් තුළ ක්‍රමිකව කරන්න ඕනෑ. නමුත් දැන් අවුරුදු දෙකක් පූර්ව ළමා විය මධ්‍යස්ථානයට ඇතුළත්වන ලක්ෂ හතරකට වැඩිය දරුවන් පෙර පාසැල අහිමි වෙලා ඉන්නේ. පුංචි දරුවන්ට වෙලා තියෙන විනාශය තක්සේරු කරන්නේ කවුද? පර්ල් නැවෙන් වුණු විනාශය ගැන ඒ ඒ විෂය ප්‍රවීණයන්ට තක්සේරු කරන්න පුළුවන්. නමුත් ලොක්ඩවුන් කාලසීමාව තුළ පුංචි දරුවන්ගේ බුද්ධි වර්ධනය සම්බන්ධයෙන් සිදුවූ විනාශය තක්සේරු කරන්න බැහැ. කවදාවත් එය පූර්ණය කරන්නත් බැහැ.
රට ගොඩනගන්න නිර්මාණශීලී පුද්ගලයන් සහ වෘත්තිකයන් බිහි කරන අත්තිවාරම මේ ලෙස විනාශ වෙලා යනවා. සහෝදරත්වය, බෙදාහදා ගැනීමේ හැඟීම්, අහිමි දරුවන් අනාගතයේ අභියෝග බාර ගන්නේ කොහොමද? දරුවන්ගේ පැත්තෙන් මේ ප්‍රශ්න තියෙනවා වගේම අද වෙනකොට පෙරපාසැල් ගුරුවරිය විශාල පීඩනයකට ලක්වෙලා ඉන්නේ. ලියාපදිංචි පෙරපාසැල් 28,000කට ගුරුවරියන් 48,000ක් විතර ඉන්නවා. පහුගිය අවුරුදු දෙක තුළ මේ අයට මොනවාද වෙලා තියෙන්නේ? ලියාපදිංචි මේ ගුරුවරියන්ට මාසිකව ගෙවන්නේ රුපියල් 250යි. අපි ගිය අවුරුද්දේ රජයට යෝජනා කළේ එය රුපියල් 5,000ක් කරන්න කියලා. ආණ්ඩුව අන්තිමට රුපියල් 250 දීලා තියෙන්නේ 2020 අටවැනි මාසයේ. දැන් ඒකත් නවත්වලා රුපියල් 2,500ක් දෙන බව කියනවා. මේකත් බොරුවක්, වංචාවක්. පෙරපාසැල් ගුරුවරුන්ගේ ඇත්ත ජීවන තත්වය ඉතාමත් ඛේදනීයයි. බොහෝ තැන් මාසික කුලී පදනම මත ලබාගෙන දැන් ගෙවාගන්න බැරිව ඉන්නෙ. අනික් පැත්තෙන් පෙරපාසැල් පාලිකාවෝ යටතේ සහායට හිටපු ගණනාවකට කිසිම පිළිසරණක් නැහැ. පෙරපාසැල් ගුරුවරියන් මෙහෙකාර සේවයේ යෙදෙන තත්වයට පත්වී ඇති බව දැනගන්න ලැබී තිබෙනවා. මේ ආණ්ඩුව පෙරපාසැල් ගුරුවරියන් යාචිකාවන් කියලයි හිතන්නේ.
ලෝක බැංකු ව්‍යාපෘතියකින් රු. බිලියන 5ක ආධාරයක් ලංකාවට ලැබුණා. පෙරපාසැල්වල ගුණාත්මක සංවර්ධනය සඳහා ගුරු පුහුණුව වෙනුවෙන් යොදවන්න ලැබුණු මුදලක්. ආණ්ඩුව කළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පූර්ව ළමාවිය සංවර්ධන නිලධාරීන් හරහා සමීක්ෂණයක් කළා. ඒ වෙනුවෙන් රු. කෝටි 03ක් වියදම් කළා. මාස 06ක කාලයක් ඒ වෙනුවෙන් ගතකළා. මේ සමීක්ෂණයට අදාළ ක්ෂේත්රවල සියලුම දෙනා සහභාගී කරගෙන කළ හොඳ එකක්. නමුත් අන්තිමට ආණ්ඩුව කළේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාට තමන්ගේ බල ප්‍රදේශයේ පෙරපාසැල් 05ක් නම් කිරීමට බලය දීමයි. සමීක්ෂණයෙන් තෝරාගත් පෙරපාසැල් පැත්තක තියලා සභාපතිවරයාගේ අත්තනෝමතික විධිහට තෝරාගත් ඒවාට කිසියම් මුදලක් දුන්නා. ඒ වගේම රු. ලක්ෂයක ලී බඩු ගන්න දුන් සල්ලිවලින් ඉතාමත්ම බාල වර්ගයේ මිල අඩු ඒවා ගත්තා. අවුරුදු හතරක ව්‍යාපෘතිය වෙනුවෙන් යෙදවීමට ගත් ලීබඩු අවුරුද්දක් යන්නත් කලින් විනාශ වෙලා. පූර්ව ළමා විය සංවර්ධන නිළධාරීනියන්ට රු. 15,000 ටැබ් එකක් දීලා රු. 30,000ක බිල් දැම්මා. දරුවන්ගේ සංවර්ධනය හෝ පෙරපාසැල් ගුරුවරියන්ගේ සංවර්ධනයට නැත්නම් පෙරපාසැලේ සංවර්ධනයට මේ මුදල් යොදවා ගත්තේ නැහැ.
කොරෝනා කාලය තුළ මේ ගුරුවරියන්ට විශේෂ දීමනාවක් දෙන්න කියලා අපි යෝජනා කළා. ඒ අනුව සියලුම පෙරපාසැල්වල විස්තර ආණ්ඩුව ලබාගත්තා. රු. 5,000 ගානේ මේ අය වෙනුවෙන් ලබාදෙන්න මාස හතරක මුදල් වෙන් කරන බව ගිය අවුරුද්දේ ඡන්දයට ඉස්සර කීවා. නමුත් බැසිල් රාජපක්ෂ මැදිහත් වෙලා නැවැත්වුවේ නැද්ද කියලා අපි ප්‍රශ්න කරනවා. ආදරණීය පෙරපසැල් ගුරුවරියන්ට මම මේ වෙලාවේදී යෝජනා කරනවා, අදාළ දේශපාලන බලධාරීන්ගෙන් මේ ගැන ප්‍රශ්න කරන්න කියලා. ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිවරයාගේ ඉඳලා ආයතන ගණනාවක් පෙරපාසැල් සම්බන්ධයෙන් ක්‍රියා කරන්න තියෙනවා. නමුත් ආයතන ගොඩක් තිබුණත් දරුවාට පූර්ව ළමාවිය අධ්‍යාපනයක් දුන්නෙ නැතිව ඒ ගුරුවරියන් යාචිකාවන් බවටත් පත් කළා. කොරෝනා කාලය තුළ මේ දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන්න විවිධ ක්‍රියාමාර්ග ගන්න සමීක්ෂණ කර තිබුණා. මේ මගින් හෙළිවී තිබෙන්නේ ඔන්ලයින් අධ්‍යාපනයට මේ දරුවන්ට සම්බන්ධ වෙන්න හැකි වෙන්නේ 8.6% කියලා. ඒ වගේම වීඩියෝ හදලා යවන ඒවා පෙන්වන්න හැකියාව ඇත්තේ 4.21%කට බව පැහැදිළි වුණා. ලිඛිත මාධ්‍යයෙන් පොත් උපයෝගී කරගෙන දෙන අධ්‍යාපනය ලබාගැනීමේ හැකියාව 30.36%ක් කියලා හෙළි වුණා. නිලධාරීන් මේ වගේ වාර්තා ඉදිරිපත් කරද්දී ආණ්ඩුව දැක්වූ දායකත්වය මොකක්ද කියලා ප්‍රශ්නයක්.
ඒ නිසා අපි ආණ්ඩුවට යෝජනා ටිකක් ඉදිරිපත් කරනවා.
■ විශේෂයෙන්ම විශේෂ අවශ්‍යතා තියෙන දරුවන් කෙරෙහි අවධානය යොමු කරලා කටයුතු කරන්න ඕනෑ. ඒ ගුරුවරියන්ටත් ඒ දරුවන්ටත් ඒ දරුවන් රැගෙන යන දෙමාපියන්ටත් කොවිඩ් එන්නත දෙන්න ප්‍රමුඛත්වය දෙන ලෙස අපි යෝජනා කරනවා.
■ පෙරපාසැල් අධ්‍යාපනය ජාතික ව්‍යාපෘතියක් යටතේ සේවාවක් හැටියට පවත්වාගෙන යන්න අධ්‍යාපන අමාත්‍යාංශය සම්පූර්ණයෙන්ම මැදිහත් විය යුතුයි.
■ සමීක්ෂණ කරලා ලබාදී තිබෙන වාර්තා අනුව කෙටි කාලින කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන්න කියලත් අපි යෝජනා කරනවා.
■ පෙරපාසැල් ගුරුවරියන්ට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් රු. 5,000ක දීමනාවක් ලබාදෙන්න ඕනෑ.
මෙම කටයුතු ඉටුකර පෙරපාසැල් ඉක්මනින් පටන් ගන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා.”
තව දුරටත් මේ දරුවන් වෙනුවෙන් කැප වෙනව – පෙර පාසැල් පාලිකා රිෂානා සිනාස් මහත්මිය
“අවුරුදු 15කට වඩා අත්දැකීම් පෙරපාසැල් පාලිකාවක් වශයෙන් මට තියෙනවා. රටට වැඩදායක යහපත් දරුවන් නිර්මාණය කිරීමට පෙරපාසැල් යොදා ගැනීම ගැන මේ කාලය පුරාම මම කැපවී ක්‍රියා කළා. නමුත් අද හුඟාක්ම දුක හිතෙන අවස්ථාවක ඉන්නේ. අවුරුදු 15ක් පුරාම පෙරපාසැල තුලින් එකතු කළ උපකරණ ගුරුවරු සහ දරුවන් යන සියල්ලම දැන් අපිට අහිමි වෙලා. හුඟක් සෝචනීය අවස්ථාවක මම ඉන්නේ. දැන් මම කරන්නේ අවුරුදු 15ක් පුරා එකතු වුණු පෙරපාසැල් උපකරණ ඒ වයසේ දරුවන්ට බෙදා දීමයි. ඒවා නිකං තියාගෙන ඉඳලා වැඩක් නැහැ. ගෙවල්වල ඉන්න දරුවන් මේ උපකරණවලින් වැඩක් ගන්න වටපිටාවක් නැහැ කියලා මම දන්නවා. නමුත් මේ උපකරණ යොදාගෙන දරුවාගේ සම්පූර්ණ වර්ධනයක් කිරීමට නම් ඔවුන් එක තැනකට පැමිණ සමාජානුයෝජනයක් එක්ක ක්‍රියාකාරකම්වල යෙදිය යුතුයි. නමුත් මගේ මුළු අතීතය, වර්තමානය සහ අනාගතය ගැන මොනවාද කරන්නේ කියන ප්රශ්නය ඇතිවී තිබෙනවා. පූර්ව ළමාවිය සංවර්ධනය සම්බන්ධයෙන් අපි මොන තරම් වැඩ කළත් ආණ්ඩුවේ මැදිහත්වීමක් නැතිව බංකොළොත් තත්වයට පත්වෙලා. මේක සෝචනීය තත්වයක්. පුහුණු පෙරපාසැල් පාලිකාවක් හැටියට ලියාපදිංචි වෙල හිටියත් අපිට අඩුම ගානේ බැංකුවකින් ණයක්වත් ගන්න බැහැ. අපි තව දුරටත් අවලංගු කාසියක් බවට පත්වෙලා. නමුත් තව දුරටත් මනුෂ්‍යයෙක් හැටියට මේ දරුවන් වෙනුවෙන් මානුෂීය හැඟීම් සහ භෞතික වර්ධනය සිදුකරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.”
පෙරපාසැල් ගුරුවරියන්ගේ ජීවිත කුණු කූඩයට දාන්න එපා – පෙර පාසැල් පාලිකා අයි. ඒ. රොෂාන්ති මහත්මිය
“විශේෂයෙන්ම මම කටයුතු කරන්නේ වීදි දරුවන් එක්ක. ඒ දරුවන් පැය තුන හමාරක විතර කාලයක් අපිත් එක්ක කටයුතු කරනවා. ඒ දරුවන්ට ගොඩක් ප්‍රශ්න තියෙනවා. වධහිංසාවලටපත්වුණු දරුවන්, අපචාරවලට පත්වුණු දරුවන් මේ අතර හිටියා. නමුත් ඒ අය ඒ හැම දේම දරාගෙන පෙරපාසැල් ගුරුවරියන් හැටියට අපිත් එක්ක සතුටින් ගතකළා. නමුත් දැන් අවුරුදු දෙකක් දරුවන්ට මේ සම්බන්ධකම නැතිව ගියා. මේ දරුවන්ට මොනව වුණාද කියලා අපිට හොයාගන්න බැහැ. මේ දරුවන් ගැන සොයා බලන්න අපේ සමාජය ක්‍රියාකරන්නේ නැහැ. ඒ වගේම අපිත් අද ලොකු දුකකින් ගත කරන්නේ. අපි ළඟ තිබුණු දරුවන්ට අදාළ උපකරණ හැම දෙයක්ම දිරාපත් වෙලා ගිහින්. වටිනාකමක් දෙන්නේ නැති ඒ වීදියේ දරුවන්ව අරගෙන වටිනාකමක් හිමි දරුවන් බවට පත්කිරීමේ කටයුතු අපි කරගෙන යනවා. හැම තැනින්ම ගුටි කාලා, ටොකු ඇනලා, ඉන්න දරුවන්ව අරගෙන ඔවුන්ට අපි වටිනාකමක් දෙනවා. ආත්ම ධෛර්යය දෙන්න උත්සාහ කරනවා. නමුත් දැන් ඒ සියල්ල ඔවුන්ට අහිමි වෙලා. පෙරපාසැල් සම්බන්ධයෙන් ක්‍රියා කරන ආයතන බොහොමයක් තිබුණත් ඒ අයගේ සියල්ල රූපවාහිනී කැමරා ඉදිරියට විතරක් සීමා වෙලා. අනික් පැත්තෙන් පෙරපාසැල් ගුරුවරියන් ගැන කිසිම සෙවිල්ලක් නැහැ. මේ ගුරුවරියෝ ජීවත් වෙන්නේ ඉතාමත් කණගාටුදායක තත්වයක. අපි දරුවන්ගේ ජීවිත ගොඩනගමින් ස්වයං රැකියාවක් විදිහට අපේ ජීවිතත් පවත්වාගෙන යන්න හැකිවුණා. නමුත් අද මේ සියල්ලම බිඳ වැටිලා. අපි ගත්තු ණය ගෙවාගන්නත් බැරි තත්වයට දැන් බිඳවැටිලා ඉන්නේ. මගේ ස්වාමි පුරුෂයාට වකුගඩු දෙකම නැතිවෙලා දැන් අපිටත් ජීවත් වෙන්න විදිහක් නැති වෙලා වේදනාවෙන් ඉන්නේ. මං වගේම තවත් පෙරපාසැල් ගුරුවරියන් පීඩාවට පත්වෙලා කියාගන්න බැරිව ඉන්නේ. අපේ දරුවන්ගේ ජීවිත බිඳවැටිලා. පෙරපාසැල් ගුරුවරියන්ගේ ජීවිත කුණු කූඩයට දාන්න එපා කියලා ඉල්ලා සිටිනවා. ඔවුන් කරන වටිනා සේවය අගය කොට සලකන්න කියලා ඉල්ලා සිටිනවා.”