අවදානම් කලාපවල පදිංචි පවුල් 12,000 කඩිනමින් ආරක්ෂිත ස්ථානවල පදිංචියට

Spread the love

අවදානම් කලාපවල පදිංචිව සිටින බවට හඳුනාගත් පවුල් 12,000 ක් කඩිනමින් ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචිකරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද  (16) දින උපදෙස් දුන්නේය.

අයහපත් කාලගුණය හේතුවෙන්  ආපදාවන්ට  ලක්වූ ජනතාවට  සහන සැලසීම පිළිබඳව පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 02 පැවති සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා  මේ බව අවධාරණය කළේය.

විපතට පත්වූවන් සඳහා සහන සැලසීම හා වන්දි ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරි සැලසුම් පිළිබඳව  අග්‍රාමාත්‍යවරයා මෙහිදී කරුණු විමසා සිටියේය.

පවතින වසංගත තත්ත්වය හේතුවෙන් කඳවුරුවල රඳවා ගැනීමකින් තොරව ආපදාවට ලක්වූ පුද්ගලයින් 31,475 දෙනෙක් දැනටමත් ඔවුන්ගේම ඥාති හිතමිතුරන්ගේ නිවෙස්වල රඳවා සිටින බවද මෙහිදී  අනාවරණය විය.

හදිසි ආපදාවන්ට ලක්වූවන්ට සහන සැළසීම සඳහා රජය දිස්ත්‍රික් 21 ක් සඳහා දැනටමත් රුපියල් මිලියනය බැගින් මුදල් ලබා දී තිබේ. මූලික වන්දි ලබාදීම ද ප්‍රමාදයකින් තොරව අවසන් කර ඇත.

දීර්ඝ කාලයක පටන් අවදානම් කලාපවල පවුල් 15,000 ක් පමණ පදිංචිව සිටින බව හඳුනාගෙන ඇතත් මේ දක්වා එම ස්ථානවලින් ඉවත්කර ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචිකර ඇත්තේ පවුල් 3000ක් පමණක් බව මෙහිදී අනාවරණය විය. ඒ අනුව  අවදානම් කලාපවල දැනට ජීවත්වන පවුල් 12,000 කඩිනමින් ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචිකරන්නැයි  අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

අවදානම් තත්ත්වය හඳුනාගනිමින් ඒ අනුව ප්‍රමුඛතාව දෙමින් එම ජනතාව අවදානමෙන් මුදා ගැනීමට සැළසුම් කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන්නේය.

නැවත පදිංචි කිරීම් සඳහා ඉඩම් අත්පත්කර ගැනීමේදී  ඇතිවන ගැටලු සම්බන්ධයෙන් මෙහි දී චමල් රාජපක්ෂ අමාත්‍යවරයා සිය අවධානය යොමු කළේය. ඊට විසඳුමක් ලෙස අදාළ අමාත්‍යාංශ ඒකාබද්ධව එම ගැටලු නිරාකරණය කිරීමට මෙම සාකච්ඡාවේ දී තීරණය කෙරිණි.

අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් පස්කඳු කඩාවැටීම, දැඩි සුළං, ගංවතුර, ක්ෂණික ගංවතුර හා අකුණු අනතුරු වලින් මේ දක්වා දිස්ත්‍රික් 21 ක පුද්ගලයින්  26 දෙනෙක් මියගොස්  262,831  ක්  ආපදාවට ලක්ව තිබේ.

බදුල්ල , මහනුවර, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, අනුරාධපුරය, කොළඹ, ගම්පහ, කළුතර, දිස්ත්‍රික්කවල පවතින නායයෑම් හා ජල ගැලීම් නිරන්තරයෙන් සිදුවන බැවින් ඒ තුළින් සිදුවන අවදානම් අවම කිරීමට  නිෂ්චිත පිළියම් යෙදීමටද මෙහිදී අවධානයට යොමු විය.

දේශගුණ විපර්යාස බලපෑමට ලක්ව සිදුවන ආපදා තත්ත්වයන් දිගු කාලයක සිට හඳුනාගෙන ඇති බැවින් ඒ ඒ ප්‍රදේශවලට ගැලපෙන නිෂ්චිත පිළියම් යෙදීම සුදුසු බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාවෙන් වසා දැමීම සම්බන්දයෙන් ද මෙහිදී අවධානය යොමු විය. පවතින තත්ත්වයට විසඳුමක් ලෙස එම  ස්ථානයේ එක් මංතීරුවක් වාහන ධාවනයට විවෘත කිරීමට අවධානය යොමු කරන ලෙසත් එසේ නොමැති නම් දැනට හඳුනාගෙන තිබෙන විකල්ප මාර්ගය කඩිනමින් සංවර්ධනය කරන ලෙසත් අග්‍රාමාත්‍යවරයා මෙහි දී මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට උපදෙස් දුන්නේය.

Related Posts