“අපි වෙනුවෙන් අපි” නිවාස ව්‍යාපෘතියේ හයවන අදියර අම්පාරේදී

Spread the love

නිවසක් අහිමි රණ විරුවන්ට හිසට සෙවණක් ලබා දීමේ අරමුණින් ආරම්භ කළ “අපි වෙනුවෙන් අපි” නිවාස ව්‍යාපෘතියේ 06 වන අදියර යටතේ අම්පාර, ත‍්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත‍්‍රික්කවල ඉදිකළ නිවාස 14ක් රණ විරුවන්ට පැවරීම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (19 ඔක්.) පෙරවරුවේ අම්පාර දිව්ලාන විද්‍යාලයේ දී සිදු විය.

ශ‍්‍රී ලංකා යුද හමුදාවේ සැරයන් කේ.එම්.ආර්. ජයරත්න රණ විරුවාට හිමි නිවස පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර, සෙසු නිවාසවල යතුරු ද ජනාධිපතිතුමා විසින් දිවුලාන විද්‍යාලයේ පැවැති උත්සවයේ දී රණ විරුවන් වෙත භාරදෙන ලදී.

මෙම වැඩපිළිවෙළ යටතේ මෙතෙක් රණ විරු අයිතියට පවරා ඇති නිවාස සංඛ්‍යාව 151කි. මහනුවර දිස්ත‍්‍රික්කයේ නිවාස 25ක් ද, කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ නිවාස 27ක් ද, මාතර හා හම්බන්තොට දිස්ත‍්‍රික්කවල නිවාස 36ක් ද, බදුල්ල හා මොණරාගල දිස්ත‍්‍රික්කවල නිවාස 31ක් ද, ගාල්ල දිස්ත‍්‍රික්කයේ නිවාස 32ක් ද මේ වන විට රණ විරු අයිතියට පවරා දී ඇත.

දිවුලාන විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ජනාධිපතිතුමා අතින් පාසල් උපකරණ බෙදාදීම ද මෙහි දී සිදු විය.

මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා පැවසුවේ අතිගරු ජනාධිපතිතුමා රට ත‍්‍රස්තවාදයෙන් නිදහස් කර ගැනීම නිසා අද සෑම දෙනාට ම නිදහස ලැබී ඇති බවත්, රණ විරුවන් රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ රට සංවර්ධනය කරන කාර්යභාරයට ද සම්බන්ධ වී සිටීම බෙහෙවින් අගය කළ යුතු බවත්ය.

මෙම අවස්ථාවට නැගෙනහිර ආණ්ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජේවික‍්‍රම, ආහාර සුරක්‍ෂිතතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පී. දයාරත්න, පා.ම. සරත් වීරසේකර, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ද, ත‍්‍රිවිධ හමුදාපතිවරුන් ද සහභාගී වී සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

RSL

Related Posts