අන්තරේට එල්ල කළ ප්‍රහාරය සජබ හෙළා දකියි

Spread the love

සමකාමී පෙළපාලියක සහ විරෝධතාවක නියැලුණු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන්ට පොලිසිය විසින් එල්ල කළ කදුලු ගෑස් සහ ජල ප්‍රහාරය තරයේ හෙලා දකින බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබංඩාර ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව තමා කියන දේ සහ ක්‍රියාවට නංවන දේ අතර  බරපතළ පරස්පරයක් තිබෙන බව යළිත් වතාවක් තහවුරු කොට හැබැයි මේ තුළින් තහවුරු වන බවත් මහලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එහි තවදුරටත් මෙසේද සඳහන් වේ.

“ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් දිගින් දිගටම අවධාරණය කළේ සාමකාමී විරෝධතා උද්ඝෝෂණ සඳහා කිසිදු බාධාවක් නොකරන බවයි. නමුත් සිදු වෙමින් පවතින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ ජාත්‍යන්තර සම්මුතීන් මඟින් වගකීම සහ වගවීමට ලක් වන භාෂණය නිදහසේ රැස්වීම විරෝධතා පැවැත්වීම වැනි ප්‍රජාතන්ත්‍රීය අයිතීන් හදිසි නීතිය දඩමීමා කර ගනිමින් මර්දනය කරන ආකාරයයි. මෙම මර්දනය සඳහා කිසිදු සාධාරණ හේතුවක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇත.

මෙම විරෝධතාවය තුළ විරෝධතාවය නියැලුණ සිසුන් ඉල්ලා සිටියේ වහාම විශ්වවිද්‍යාල විවෘත කරන ලෙසත් රටේ ජනතාවට ජීවත්වීම සඳහා සුදුසු ආර්ථික වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් නිදහසේ ජීවන වෘත්තීන් කරගෙන යාම සඳහා වන බාධකවලින් රට මුදා ගැනීමට පියවර ගන්නා ලෙසයි. එම ඉල්ලීම් පිළිබඳව කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන ආණ්ඩුව ක්‍රියාවට නැංවූ මර්දනය තුළ පැහැදිලි වන්නේ මෙම ක්‍රියාවලිය තුළ සැඟවුණු න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක බවයි. මේ සියල්ල අදෘශ්‍යමාන හස්තයක් මඟින් මෙහෙය වන බව අපි විශ්වාස කරමු. මෙවැනි ක්‍රියාදාමයන් තුළින් උත්සහ දරණුයේ සමාජය තුළ බිය ඇති කරමින් ආණ්ඩුවට එරෙහි විරෝධතාවයන් නිර්වින්දනය කිරීම බව ඉතාමත් පැහැදිලිය.

මේ සියල්ල ජනතා විරෝධය සහ කෝපය අවුලුවන සුළු ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ බලය තහවුරු කර ගන්නා පියවර මිස රටේ මූලික අර්බුද වලට විසඳුම් ලබා නොදෙන ඒවා බව පැහැදිලිය.
හදිසි නීතිය වහාම අහෝසි කරනවා යැයි ප්‍රකාශ කළ ජනාධිපතිතුමා අති විශේෂ ගැසට් නිවේදනයක් මගින්  දිස්ත්‍රික්ක හතකට ත්‍රිවිද හමුදාව කැඳවීම තුළද දකින්නේ ප්‍රකාශය සහ ක්‍රියව අතර පරස්පරයයි.

රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කප්පාදු කරන එමෙන්ම ව්‍යවස්ථාවෙන් සහතික කොට ඇති නන්වැදෑරුම් නිදහස යටපත් කරන සියලු ක්‍රියාවලි වහාම හකුලා ගන්නා ලෙස අපි ආණ්ඩුවට බල කරමු. එමෙන්ම රඳවා ගැනීමේ නියෝග මත අත්අඩංගුවේ පසුවන ශිෂ්‍ය ක්‍රියාධරයින් වහාම නිදහස් කරන ලෙස ද ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවට කියා සිටිමු.

RSL

Related Posts