අග‍්‍රගණ්‍ය සිනමා නළු ජෝ අබේවික‍්‍රම මහතා අභාවප්‍රාප්ත වේ

Spread the love

1933 වසරේ ජුනි 13 වැනිදා රත්නපුර ලෙල්ලෝපිටිය ග්‍රාමයේ උපත ලද ජාත්‍යන්තර කීර්තියට පත් මෙරට සුවිශේෂී චරිතාංග නළුවකු වූ අග‍්‍රගණ්‍ය සිනමා නළු ජෝ අබේවික‍්‍රම මහතා අද (21) සවස අභාවප‍්‍රාප්ත විය.
රත්නපුර සීවලි මධ්‍ය මහා විදුහලින් අධ්‍යාපනය ලද ඔහු 1940 දී සිරිසේන විමලවීර සූරීන්ගේ නවජීවන චිත්‍රාගාරයේ සේවයට එක්විය.
1957 දී සරදම චිත‍්‍රපටයෙන් සිනමා රංගනයට පිවිසි අතර මුල් යුගයේ ඔහු ප්‍රකට වූයේ විකට නළුවෙකු ලෙසිනි.
ජෝ අබේවික්‍රම ලෙසින් සිනමාවට එක් වූ ඔහු මෙරට සිනමාවේ සුවිශේෂී දස්කම් පෑ චරිතාංග නළුවෙකු ලෙස හැඳින්වේ. ශේෂා පලිහක්කාරගේ රන්මුතුදූව, ගැටවරයෝ, සාරවිට, ඩීබී නිහාල්සිංහයන්ගේ වැලිකතර සහ මහගම සේකරයන්ගේ තුංමං හංදිය, ධර්මසේන පතිරාජගේ බඹරු ඇවිත්, මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සිරිබෝ අයියා, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ මඩොල්දූව, දෑස නිසා, බැද්දෙගම, සුමිත්‍රා පීරිස්ගේ ගැහැණු ළමයි, ධර්මසිරි ගමගේගේ පූජා වැනි සිනමාපටවල ඔහුගේ රංගනයන් විචාරක ප්‍රසාදයට පාත්‍රවිය.
සරසවි සම්මාන ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලත් ඔහු පුරහඳ කළුවර සිනමාපටයේ දී කළ රංගනය වෙනුවෙන් ආසියාවේ හොඳම නළුවාට පිදෙන සම්මානයෙන් පිදුම් ලද්දේ සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උළෙලේ දී ය.
1972 දී ඔහු සිය කුළුඳුල් නවකතාව ලෙස ‘මහ බඹාට මුහුණු දෙකයි‘ කෘතිය එළි දැක් වූයේ ය. ටෙලි නාට්‍ය නිෂ්පාදකයකු මෙන් ම ගුවන්විදුලි නාට්‍ය පිටපත් රචකයෙකු ලෙසින් ද ඔහු කටයුතු කළේ ය.

Loading...

RSL

Related Posts