Weekly Political Review: බැහැයි කියලා දෙයක් නෑ. මේක හොද ටර්නින් පොයින්ට් එකක්

Spread the love

අත්‍යවශ්‍ය සේවා සැපයීම පිළිබද ජනාධිපති කාර්යය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පසුගිය සෙනසුරාදා හා ඉරිදා දිවයිනේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් කොළඹට කැදවා තිබිණි. ඒ කෝවිඩ් 19 තත්ත්වය හමුවේ ජනතාවට සහන සැලසීමට ආණ්ඩුව ගෙන ඇති වැඩ පිළිවෙල ගැන ඔවුන් දැනුවත් කිරීම සදහා.

මේ හමුවට ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, කංචන ජයරත්න ඇතුළු මැති ඇමතිවරු කීප දෙනෙකුම එක්ව සිටියේ බැසිල්ගේ දැනුම් දීම අනුවය.

කොරෝනා වසංගතය පැතිරයාම පාලනය කරන්න ඇදිරි නීතිය පැනවීම නිසා ජීවනෝපාය අහිමි වූ පවුල් වලට ලබා දෙන රුපියල් 5000 දීමනාව ජූනි මාසයේදීත් ලබා දෙන බව බැසිල් මෙහිදී කීවේය.

“මේ දීමනාව ලැබිය යුතු හැමෝටම වගේ ලැබිලා තියෙනවා. සමහර තැන්වල පොඩි පොඩි ප්‍රශ්ණ ටිකකුත් තිබුණා. අපි ඒවත් විසදුවා” බැසිල් කීවේය.

” මේක ඉතාම හොද වැඩ පිළිවෙලක් සර්. මුලින් මුලින් ප්‍රශ්ණ තිබුණත් ආණ්ඩුව විටින් විට චක්‍ර ලේඛ නිකුත් කර කර ඒ ගැටළු විසදන්න කටයුතු කරපු නිසා වැඩේ හොදට කෙරුණා.” ඇමති ප්‍රසන්න කීවේය.

” වැඩේනම් හොදට කෙරුනා. මම ඒත් කල්පනා කර කර ඉන්නේ කලින් රුපියල් 2500 දීලා මම තවම උසාවි යනවා. මේ  5000 දීලා මොනවා වෙයිද දන්නේ නෑ ” බැසිල් කීවේ රැස්ව සිටි සියලු දෙනා සිනා ගස්වමින්ය.

කෝවිඩ් 19 වසංගතය පැතිර යාම පාලනය කීරිම සදහා ආණ්ඩුව ඇදිරි නීතිය පැණවීමත් සමග ජනතාවට සහන සැලසීම සදහා පළාත් පාලන ආයතන වල මැදිහත් වීම පිළිබදව බැසිල් සියළු දෙනාට ස්තූතිය පුද කිරීමටද අමතක කලේ නැත. පැමිණ සිටි ඇතැමුන් කිව්වේ පළාත් පාලන ආයතනවල ට මෙවැනි අවස්ථාවකදී මීට වඩා මැදිහත් විය හැකි වුවද රජයේ ඇතැම් නීති රීති නිසා එය සීමා වී ඇති බවය.

” මේ වෙලාවේ මහජන නියෝජිතයන් ලෙස සක්‍රියව ඉන්නේ ජනාධිපතිතුමයි, පළාත් පාලන ආයතනයයි විතරයි. ඒ කොහොමත් ආණුඩුව පලාත් පාලන ආයතන තවත් ශක්තිමත් කරන්න ඉදිරියේදී කටයුතු කරනවා ” බැසිල් කීවේය.

රැස්වීමට පැමිණ සිටි ඇතැම් පළාත් පාලන ප්‍රධානීන් බැසිල්ගෙන් ඇහුවේ මහ මැතිවරණය ගැනය.

” මම ඔයගොල්ලන්ව කැදෙව්වේ ජනාධිපති කාර්යය සාධන බලකායේ සභාපති විදියට. ඒ නිසා මැතිවරණය ගැන කථා කරන්නේ නෑ. ඒක මැතිවරණ කොමිසම තීරණය කරයි.” බැසිල් කීවේය.

මම හිතන්නේ ඡන්ද කල් දාන්න හේතු හොයන ලෝකේ තියෙන එකම මැතිවරණ කොමිසම මේ තමයි. ” ප්‍රසන්න

රැස්වීමේදී මැතිවරනය ගැන කථා නොකලද රැස්වීම අවසන් වීමෙන් පසුව පැමිණ සිටි මැති ඇමති වරුන්ගේ ප්‍රධාන මාතෘකාව වූයේ මැතිවරණය. ඊට මුල පිරුවේ ඇමති ප්‍රසන්නය.

” අපිට තියෙන්නේ මරු මැතිවරණ කොමිසමක් ” ප්‍රසන්න කීවේය.

” ඒ මොකද? ” ඇහුවේ රෝහිතය.

” නැ ඉතින්… මැතිවරණ කොමිසම පිහිටෙව්වේ මොකටද ? ” ප්‍රසන්න අසුවේය.

” මැතිවරණ තියන්නනේ. ” කංචන කීවේය.

” ඒකනේ.. මැතිවරණ කොමිසම තියෙන්නේ මැතිවරණ තියන්න. මොන ස්වාභාවික විපතත් ආවත්, මොන ආපදාවක් වුනත් මැතිවරණ තියන්න විකල්ප ක්‍රමවේද හදලා ජනතාවගේ සර්ව ජන අයිතිය ආරක්ෂා කිරීම තමයි මැතිවරණ කොමිසමේ වගකීම. හැබැයි මේ කොමිසම කරන්නේ ඡන්දේ කල් තියන්න හේතු හොයන එක..  මම හිතන්නේ ඡන්ද කල් දාන්න හේතු හොයන ලෝකේ තියෙන එකම මැතිවරණ කොමිසම මේ තමයි. ” ප්‍රසන්න කීවේය.

” සර්, පාර්ලිමේන්තුව කැදවන්න කියලා විපක්ෂය දගලන්නෙනම් හොදකට නෙමෙයි.” පැමිණ සිටි සභාපති වරයෙකු කීවේය.

” අපොයි ඔව්. මෙයාලට ඕන මේ යන වැඩ පිලිවෙල නතර කරන්න. මොකද ආණ්ඩුව කොරෝනා පාලනය කලා. ජනතාවට සහන දෙනවා. මෙහෙම ගියොත් ඡන්දෙදි විපක්ෂයට යන්න වෙන්නේ හොම්බෙන්. ඒකයි මේ දගලන්නේ.” රෝහිත කීවේය.

” ඒක ඇත්ත. දැන් unp එක කැඩිලා සීසිකඩ ගිහිල්ලනේ තියෙන්නේ. පරණ පාර්ලිමේන්තුව රැස් වෙලාවත් දෙගොල්ලන්ට එකතු වෙන්න පුළුවන්ද කියලයි ඔය ට්‍රයි එක දෙන්නේ. ” ප්‍රසන්න කීවේය.

බැහැයි කියලා දෙයක් නෑ. මේක හොද ටර්නින් පොයින්ට් එකක්

කෝවිඩ් 49 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් ලොකයේ වැඩිම බලපෑම සිදුව ඇත්තේ සංචාරක ව්‍යාපාරටය. ලංකාවේ සංචාරක ව්‍යාපාරයට මේ නිසා සිදුව ඇත්තේ බරපතල හානියකි. කොරෝනා නිසා බිද වැටුනු සංචාරක කර්මාන්තය යලි නගා සිටුවීම සදහා ගත යුතු පියවර සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගිය අගහරුවාදා (12) කොළඹදී පැවැත්වූයේ විෂය භාර ඇමති ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙනි. ඒ සදහා සංචාරක ක්ෂේත්‍රයේ නියුතු විවිධ වෘත්තිකයන් කැදවා තිබිණි. ඔවුන් බොහෝ දෙනෙකුගේ අදහස වූයේ තවත් වසරක්වත් යන තුරු සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත් කර ගත නොහැකි වනු ඇති බවය.

” බැහැයි කියලා දෙයක් නෑ. මේක හොද ටර්නින් පොයින්ට් එකක්. ගෝඨාභය මහත්තයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා සංචාරක ව්‍යාපාරය ගොඩගන්න සැලසුම්. අපි ඒවා ක්‍රියාත්මක කරමු.” ප්‍රසන්න කීවේය.

කටුනායක ගුවන්තොටුපලේ නව මගී පර්යන්තය සහ නව ප්‍ර වේශ මාර්ගය විවෘත කිරීමට ගුවන්තොටුපල බලධාරීන්ට අවශ්‍ය වීය. විෂය භාර ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ අදහස වුයේ ඒ සදහා ජනාධිපති වරයා හා අගමැතිවරයා සහභාගී විය යුතු බවයි. ඒ අනුව පසුගිය බදාදා (13) කැබිනට් මණ්ඩලය අවසන් වූ වහාම ඇමති ප්‍රසන්න ජනාධිපති වරයා හා අගමැතිවරයා හමුවී මේ ආරාධනා කලේය.

“මේ වෙලාවේ ඕවාට ලොකු උත්සව කරන්න ඕනෑ නැහැ. ප්‍රසන්න ඔන්න ඔහේ ඔයා ගිහිල්ලා විවෘත කරන්න. “ ගොඨාභයත් මහින්දත් දෙදෙනාම කිවේය. 

ඒ අනුව පසුදින විවෘත කිරීමේ කටයුතු සැලසුම් කෙරිණි.  බ්‍රහස්පතින්දා උදෑසන ප්‍රසන්න ගුවන්තොටුපල සභාපතිවරයාට කථා කලේය.  

“සභාපතිතුමා මම ඕකට එන එක හරි නෑ. මේ මැතිවරණ තියෙන වෙලාවේ. ඒ හින්දා ඔයගෝලලෝ ඕක විවෘත කරන්න.  මම පුළුවන් වුනොත් ඇවිල්ලා යන්න ඒනනම්.“ ප්‍රසන්න කිවේය. 

ඒ අනුව ගුවන්තොටුපොල සභාපතිවරයා සහ අධ්‍යක්ෂක මණ්ඩලය එක්ව නව මගී ප්‍රවේශ මාරගය සහ මගී පර්යන්තය විවෘත කළහ. ඒ අතරතුර කාටත් නොදන්වා ප්‍රසන්න ගුවන්තොටුපොලට ආවේය. ගුවන්තොටුපොල නව මගී ප්‍රවේශ මාර්ගය නිරීක්ෂණය කළ ඔහු එතන තිබුනු බස් රථයකට නැග්ගේය. නිළධාරීන් කිහිප දෙනෙකුද ගොඩකර ගත්තේය. ප්‍රවේශ මාර්ගය හරහා  කටුනායක ගුවන්තොටුපොලට වාහන ඇතුලත් කළ යුතු ආකාරය පිළිබද උපදෙස් දෙමින් ගුවන්තොටුපොලට ගියේය. ප්‍රසන්න කෙතරම් හොදින් මේ වැඩ පිළිවෙල පිළිබද නිළධාරීන්ට උපදෙස් දුන්නේද කියතොත් ඔහුගේ උපදෙස් අවසන් වන විට ප්‍රවේශ මාර්ගය හා ගුවන්තොටුපොල අතර ඇමති වරයා රැගත් බස්රථය වට පහක් ගමන් කර තිබුණි.   

ලියන්නේ – ගජබා නාගහවත්ත

RSL

Related Posts