ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව, ව්‍යාප්තිය සහ විශේෂයෙන් සිදුකරනු ලබන PCR පරීක්ෂණ සංඛ්‍යාව ගැන පසුගිය කාලය පුරාම දැඩි සැකයක් සමාජය තුළ මෙන්ම සෞඛ්‍ය වෘත්තිකයින් තුළ ද තිබෙනවා. මේ ගැන සැක පහළ කරන බොහෝ දෙනෙක් කියන්නේ ආණ්ඩුව නිවැරදි දත්ත, සංඛ්‍යා සගවා තබා ගෙන තම වාසියට ‘සාවද්‍ය‘ නැතහොත් ධනාත්මක දත්ත / සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන බවයි.
මෙහිදී ප්‍රධාන වශයෙන් චෝදනා නැගෙන්නේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට වීම ද විශේෂත්වයක්. මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින සෞඛ්‍ය අමාත්‍යවරිය කොවිඩ් වසංගතය තම දේශපාලන ප්‍රතිරූපය වර්ධනය කර ගැනීමට යොදා ගන්නා බවට ද ඇතැම් පිරිස් චෝදනා කරනවා.
මේ අතර මේ චෝදනාවල සැලකිය යුතු සත්‍ය තත්ත්වයක් ඇතැයි ලිඛිතව තහවුරු වන සිදුවීමක් අද (24) අපට හමු වුණා. ඒ සෞඛ්‍ය අමාත්‍යවරියගේ මාධ්‍ය ලේකම්වරයා විසින් අද (24) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් සහ යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා නායකත්වය දරන ‘කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මූලස්ථානය විසින් අද (24) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින්.
සෞඛ්‍ය අමාත්‍යවරියගේ මාධ්‍ය ලේකම්වරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සදහන් වුණේ ‘මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය මෙසේද කීවාය- “කොවිඩ් – 19 රෝගය රට තුල පැතිරීම වැළැක්වීම හා පාලනය සදහා රජයක් විදිහට අප සියළු පියවර ගෙන තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදිතයින් හදුනා ගැනීම සදහා සිදු කරනු ලබන PCR පරික්ෂණ 150,000 (එක්ලක්ෂ පනස්දහසක්) අද දිනය වන විට සිදු කර අවසන්.” බවයි.
එහෙත් අද දිනම ‘කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මූලස්ථානය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සදහන් වුණේ ‘මේ වන විට (24දා) ශ්‍රී ලංකාව තුළ PCR පරීක්ෂණ 145,373ක ප්‍රමාණයක් සිදුකර ඇති බවයි.
මෙහිදී පැහැදිලි වන්නේ කොවිඩ්-19 සම්බන්ධයෙන් වගකීමට බැදී සිටින ප්‍රධාන ආයතන ද්විත්වය අතර පවා දත්තමය වශයෙන් සැලකිය යුතු විෂමතාවක් පවතින බවයි.
මෙය ඇතැම් විට ඉතා සුළු හෝ නොවැදගත් කරුණක් වශයෙන් යමෙකුට පෙනී යා හැකියි. එහෙත් මෙම ආයතන දෙක අතර පී.සී.ආර්. පරීක්ෂණවල පරස්පරය 4627ක් වන විට තත්ත්වය සංකීර්ණ බව පෙනී යනවා. ඒ ලංකාව තුළ දෛනිකව සිදුවන්නේ පී.සී.ආර් 1400කට නොඅඩු සංඛ්‍යාවක් නිසයි. (ඊයේ සිදුකර ඇත්තේ පී.සී.ආර් පරීක්ෂණ 1380ක් පමණයි)
මෙහිදී අප දැක්වීමට උත්සාහ කරන්නේ එක දශමයක් හෝ මෙවැනි වසංගත තත්ත්වයකදී අතිෂය වැදගත් වන බවයි. ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට හේතු වන බවයි.
මේ තත්ත්වය තුළ අදාළ ආයතන සහ මාධ්‍ය සමග ගනුදෙනු කරන නිලධාරීන් මීට වඩා සැලකිලිමත් විය යුතු බව අපගේ අදහසයි. ඊට හේතුව වන්නේ පසුගිය පාස්කු ප්‍රහාරය යහපාලන ආණ්ඩුවේ මළගම වුණා සේ කොවිඩ් වසංගතය වත්මන් ආණ්ඩුවේ ප්‍රතිරූපය ඉහළට ඔසවා තබන වැදගත්ම මෙහෙයුම වන නිසයි. සමස්ත ජාතියක ඉරණම ඒ සමග බැදී තිබෙන නිසයි.