Covid-19 World Review: ප්‍රංශ ජනපතිගෙන් චීනයට දැඩි විවේචන

Spread the love

ගෝලීය වශයෙන් තහවුරු වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද (18) දින අවසන් වන විට 2,274,800ක් බව ජෝන්ස් හොප්කින් විශ්වවිද්‍යාලයේ කොරෝනාවෛරස් සම්පත් මධ්‍යස්ථානය සදහන් කරයි. එහි දැක්වෙන්නේ අද දින වන විට කොවිඩ්-19 ආසාදනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 156,140ක් වූ බවයි.

වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර එය 706,856කි. ස්පාඤ්ඤයෙන් 191,726ක්, ඉතාලියෙන් 172,434ක්, ප්‍රංශයෙන් 149,146ක්, පර්මනියෙන් 142,325ක් සහ මහා බ්‍රිතාන්‍යෙයන් 115,299 දෙනකු වාර්තා වී ඇත.

රුසියාවේ ආසාදිතයින් සංඛ්‍යාව 36,793ක් වන අතර ඉන්දියාවේ ආසාදිතයින් සංඛ්‍යාව 14,792කි. ජපානයේ ද වාර්තාගත ලෙස කොවිඩ් ආසාදිතයින් වාර්තා වන අතර අද දිනය අවසන් වන විට 9,787 දෙනකු වාර්තා වී ඇත.

කොවිඩ්-19 ආසාදනය වීමෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් 34,614l එක්සත් ජනපදයෙන් වාර්තා වී ඇති අතර ඉතාලි‍යෙන් මරණ 22,745ක් ස්පාඤ්ඤයෙන් මරණ 20,043ක් ප්‍රංශයෙන් මරණ 18,681ක් සහ එක්සත් රාජධානියෙන් මරණ 15,464 ක් වාර්තා වී ඇති අතර ඉන්දියාවේ මරණ සංඛ්‍යාව 488කි.

ගෝලීය ප්‍රවණතා

ප්‍රංශ ජනාධිපති  එම්මානුඑල් මැක්‍රොන්

කොරෝනා වෛරස් අර්බුදයේ  චීන භූමිකාව ගැන ප්‍රංශයේ දැඩි විවේචනයක්

කොරෝනා වසංගතය පාළනය කිරීමේ දී පීකිං පාලනය කිසිදු විනිවිද භාවයකින් යුතුව කටයුතු කර නොමැති බවත්, මෙම අර්බුදය සම්බන්ධයෙන් චීනය කටයුතු කරන පිළිවෙළ අනෙක් රටවලට වඩා යහපත් යැයි කීම ” බොළඳ ” කියමනක් බවත් ප්‍රංශ ජනාධිපති  එම්මානුඑල් මැක්‍රොන් පවසනවා.

ප්‍රංශ ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදු කරනු ලැබුවේ  “ෆිනෑන්ස් ටයිම් ” සඟරාව  විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

” ෆිනෑන්ස් ටයිම් ” සඟරාව අසන ලද ප්‍රශ්නය වූයේ  ” කොරෝනා වෛරසය මතු කර ඇති අර්බුදයට මුහුණ දීමට ඒකාධිපති පාළන තන්ත්‍රයට හැකි වූයේ ද ? ” යන්නය.

මෙම පැණයට වැඩි දුරටත් පිළිතුරු සැපයූ මැක්‍රොන්  ” පැහැදිලිව අප නොදන්නා බොහෝ දේවල් සිදු වි තිබෙනවා ” යනුවෙන් තම පිළිතුර සාරාංශ කොට ඇත.

ප්‍රංශ ජනාධිපතිවරයා චීනය පිළිබඳව මෙවැනි දැඩි විවේචනයක් සිදු කරනු ලැබුවේ , මීට පෙර වොෂින්ටනය හා ලන්ඩනය චීනය සම්බන්ධව  අනුගමනය කළ ප්‍රතිපතිය මත පිහිටා ය.

ප්‍රංශ ජනාධිපතිවරයාගේ මෙම දැඩි විවේචනයත් සමඟම, චීනය කොරෝනා වෛරසයට එරෙහි ජාත්‍යන්තර සමගියක් ඉල්ලා සිටීමට (අප්‍රේල් 17 ) දින ක්‍රියා කොට ඇත. කෝවිඩ් -19 වෛරස් වසංගතයට එරෙහිව සටන් කොට යුද්ධය ජය ගැනීම සඳහා සියලු රටවල් එක් විය යුතු බව චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ නව ප්‍රකාශක ෂාඕ ලිජිඅන් ( Zhao Lijian ) ප්‍රකාශ කළේය.

විවිධ දේශපාලන පද්ධති වල වාසි සහ අවාසි ගැන තර්ක කිරීම නිෂ්ඵල බව ෂාඕ තවදුරටත් කියා ඇත. කෝවිඩ් -19 වෛරසය නිසා වාර්තා වූ මරණ සංඛ්‍යාව හදිසියේ වැඩිවීමෙන් පසුව, ඒ පිළිබඳව කිසිදු සැඟවීමක් චීන රජය විසින් කර නොමැති බවත්, එවැනි සැඟවීමක් කළ බවට යමෙකු පවසන්නේ නම් එය ප්‍රතික්ෂේප කරන බවත් ෂාඕ කියා ඇත.

කිසි විටෙකත් වසන් කිරීමක් සිදු නොවුනු අතර, කිසිදු වසන් කිරීමකට තම පාලනය කිසි විටෙකත් ඉඩ නොදෙන බවත් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා පවසා ඇත. රෝහල් වල තදබදය හේතුවෙන් වසංගතය ආරම්භයෙදීම මරණ වාර්තා කිරීමේ දී ප්‍රමාදයන්, අතපසුවීම් සහ සාවද්‍යතාවයන් සිදු වූ බව පමණක් ෂාඕ පිළිගන්නා අතර, වසංගතය වෙනුවෙන් චීනයට දක්වන ප්‍රතිචාර දෝෂ සහිත යැයි ඔහු කියා සිටී.

කෙසේ වෙතත් වසංගතයේ කේන්ද්‍රස්ථානය වන වුහාන් මහ නගර සභාවේ මරණ සංඛ්‍යාවත්, ලෝකයේ වැඩිම ජනගහණයක් සිටින රටේ මිය ගිය සංඛ්‍යාවත් සැලකිල්ලට ගැනීමේ දී  ප්‍රංශ ජනාධිපතිවරයා පැවසූ ” පැහැදිලිවම අප නොදන්නා බොහේ දේවල් සිදු වී තිබෙනවා ”  යන ප්‍රකාශයත්, ”  කොරෝනා වෛරස් වසංගතයට එරෙහිව චීනය කටයුතු කරන පිළිවෙල  අනෙක් රටවලට වඩා යහපත් යැයි කීම බොලඳයි ”  යන ප්‍රකාශයත්  බෙහෙවින්ම සාධාරණ බවට යුරෝපය තුළ පොදු පිළිගැනීමකට ලක් වී තිබේ.

මේ අතර ළමා රැකවරණ සේවයේහි නියතුව සිට කොරෝනා වෛරසයට ගොදුරුවීමේ අවදානම හේතුවෙන් නිවෙස් වල රැඳී සිටින අය සහ අසනීප නිවාඩු මත සිටින අය අර්ධ වශයෙන් රැකියා විරහිතයන් ලෙස සලකනු ලබන බව  ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යංශය හා කම්කරු අමාත්‍යංශය අද නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.

රැකියාවේ නිරත වසර ප්‍රමානය නොතකා අප්‍රේල් මස අවසානය දක්වා ළමා රැකවරණ රැකියාවේ නිරත වූවන්ට වැටුපෙන් 90% ක් ගෙවන බව එම නිවේදනයේ දක්වා ඇත.

අර්ධ ක්‍රියාකාරකම් වලදී එය අර්ධ විරැකියාව ලෙස  මැයි මස 01 වැනිදා සිට හඳුන්වන ලබන අතර, දැනටමත් ප්‍රංශය තුළ මිලියන 9 කට ආසන්න සංඛ්‍යාවක් එම ඝණයට  අයත්වන බවත්, මෙම තීරණය හේතුවෙන් මැයි මාසයේදි එම සංඛ්‍යාව තවත් ඉහළ යෑමට නියමිත බවත් කියැවේ.
සාමාන්‍යයෙන් අර්ධ විරැකියාවේ යෙදෙන්නන් ලෙස සලකනු ලබන පිරිස් සඳාහා වැටුපෙන්  84% ගෙවනු ලබන බවත්, අවම වැටුප ලබා ගන්නා සේවකයන් සඳහා ( Smic) එම ප්‍රමාණය 100% දක්වා ඉහළ නංවන බවත් රජය ප්‍රකාශ කොට තිබේ.

එසේ වුවත්, ඔවුන් අර්ධ ක්‍රියාකාරකම් සඳහා නොයෙදුන හොත් ඔවුන්ට ගෙවන මුදල 60% ක් වැනි ප්‍රමාණයක් වනු ඇති බව කම්කරු අමාත්‍යංශය නිවේදනය කර තිබේ. එසේම සේවා කාලය නොතකා අප්‍රේල් 30 වැනිදා දක්වා වැටුපෙන් 90%’ක් ගෙවීමට නියමිත බවද අමාත්‍යංශය පවසනවා.

මේ අතර ප්‍රංශයේ සිටි ප්‍රසිද්ධ ගායකයෙකු වන ක්‍රිස්ටෝෆ් (Christophe ) (16 ) රාත්‍රියේ දී මිය ගොස් තිබෙනවා.පසුගිය මාර්තු 26 වැනිදා පැරීසියේ බ්‍රෙස්ට් (Brest ) රෝහලට ඇතුළත් කරනු ලැබ සිටි ක්‍රිස්ටෝෆ් , බ්‍රිතාන්‍ය යට මාරු කර යැවීමට සැලසුම් කර තිබුණ ද ඊට පෙර දැඩි සත්කාර ඒකකයේදීම ඔහු මිය ගොස් තිබෙනවා.

වයස අවුරුදු 74 ක් වූ මොහු දිගු කලක් තිස්සේ පෙනහළු රෝගයකින් පීඩා විඳි බව ඔහුගේ බිරිඳ වෙරොනික් බෙව්ලැක්වා සහ දියණිය වූ ලුසී විසින් නිකුත් කර ඇති පුවත් පත් නිවේදනයක සඳහන් වෙනවා.

කෙසේ නමුත් ”  ල පැරීසියන් ” නමැති පුවත් පත ප්‍රකාශ කර ඇත්තේ මොහු මිය ගොස් ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් බවයි. රෝහල්ගත කරන අවස්ථාවේදි සිදු කළ පරීක්ෂණයකදී මොහුට කොරෝනා වෛරසය ධනත්මක වී තිබුණු බවට සොයා ගෙන ඇති බව පවසන ල පැරීසියන් පුවත්පත , පවුලේ අය එය වසන් කර ඇති බව  ද කියා සිටී.

ක්‍රිස්ටෝෆ් පෙනහළු රෝගයකින් මිය ගිය බව පවුලේ අය ප්‍රකාශ කළ ද , ඔහු මිය යන තුරු පවුලේ අය කිසි විටකවත් එවැනි රෝගයක් මොහුට තිබුණ බවට තහවුරු  කර නොමැති බවද  පුවත්පත කියා තිබේ.මේ අනුව මෙම ගායකයාගේ මරණය පිළිබඳව ප්‍රංශයේ සමාජ ජාලා වල විවිධ ප්‍රශ්න නැගීම් සිදු කර තිබේ.

සුනිල් ගමණී – ප්‍රංශ ජනමාධ්‍ය ඇසුරෙන්

RSL

Related Posts