COVID-19 Situation Report: ලංකාවේ ආසාදිතයින් සංඛ්‍යාව 847යි – ලෝකය පුරා මරණ 276,007ක්

Spread the love

අද (9) දිනය තුළ අලුතින් වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් 12 දෙනා සමග ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 844 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් අද (9) දින ප.ව 21.05ට සිදුකළ යාවත්කාලීන කිරීම්වල සදහන් වෙයි.

එහි වැඩි දුරටත් සදහන් වන්නේ මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 575ක් බවයි. දැනට රෝහල්වල විමර්ශනය යටතේ පුද්ගලයින් 135 දෙනකු සිටින අතර සුවය ලබා පිටවී ගිය පුද්ගලයින් සංඛ්‍යාව 260ක් බවයි එහි වැඩි දුරටත් සදහන් වන්නේ.

මේ අතර අද දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ යුද්ධ හමුදාව සහ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පූනානි (75), කන්දකාඩු (62), විඩත්තපලෙයි (298), අයියකච්චි (80), දියතලාව නිවාඩු නිකේතන (05), නිපුන බූස්ස (12) හා හොටෙල් ඩොල්ෆින් (01) යන නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් පුද්ගලයින් 533 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව, PCR පරික්‍ෂණය සිදුකර අද (09) දින තම නිවෙස් වෙත පිටත් කරන ලද බවයි.

ඒ අනුව, අද (09) දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 6299 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇති බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.

එසේම, ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 39 ක් තුළ පුද්ගලයින් 4428 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටින බව ද එම නිවේදනයේ සදහන්.

නාවික හමුදාව තුළ අද (09) දිනය වන විට කොවිඩ් – 19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 409 ක් වන අතර බහුතරයක් කඳවුර තුලින් ආසාධිත වූවන් බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.

ගෝලීය තත්ත්ව වාර්තාව

කොවිඩ්-19 ආසාදිතයින් ගැන නිල ගෝලීය තොරතුරු ඉදිරිපත් කරන ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නිල වාර්තාවල සදහන් වන ආකාරයට අද දිනය අවසාන වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 3,974,036ක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 276,007ක් බවයි එහි සදහන් වන්නේ.

RSL

Related Posts