Covid-19 සමාජ පැතිරීමක් ලෙස සැලකිය යුතු වන්නේ ඇයි?
- RSL
- October 22, 2020
- CORONA: Covid 19, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
කොවිඩ් සමාජ පැතිරීමක් නොවන බව පුන පුනා කීමෙන්, රෝගය පාලනයට අනර්ථයක් සිදුවෙනවා සේම, ජනතාව පොකුර වෙත අවධානය යොමු කරමින්, තම තමන්ගේ සාමාන්‍ය අනුමාන මත ලිහිල් ආරක්ෂිත ප්‍රතිපත්තියකට යෑම තුල තත්වය අතිශය භයානක වීමේ ඉහල සම්භාවිතාවයක් පවතී.


මේ වන විට රටතුල කොවිඩ් සමාජ පැතිරීමක් නොවේ යැයි සනාථ කිරීම සදහා අවශ්‍ය ප්‍රජා වෛද්‍ය විද්‍යාත්මක කරුණු සම්පූර්ණ වී නොමැත. සෞඛ්‍ය භාවිතාවන්ට පරිභාහිර බුද්ධි අංශ සහ හමුදාමය උපක්‍රම භාවිත කරමින් පවතින පොකුරු වලට සම්බන්ධතාවයක් තව දුරටත් ගොඩනංවමින් සිටින බැවින් මෙය සමාජ පැතිරීමක් යැයි එකහෙලා ප්‍රකාශ කිරීමේ ගැටළුවක්ද පවතී.
කෙසේ නමුත්, ශ්‍රී ලංකාව තුල කොවිඩ් සදහා ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කිරීමට අවසර ලබා දී නොමැති බැවින්, ස්වභාවිකව සුවපත් වූ, ආසාධිතයින්ගේ දත්ත ලබා ගැනීමේ හැකියාවක්ද නොමැත. බුද්ධි අංශ වලට පවා රෝගීන් හඹා යා හැකිව තිබෙන්නේ PCR පරීක්ෂණ මගින් ලබා දෙන්න දත්ත අනූව පමණක් වන බැවින්, රෝගය පැතිරීමේ මාර්ගය සොයා යෑමේ බුද්ධි අංශ ක්‍රමවේදය තුල වුවද දත්ත නොමැති රෝගීන් මහ හැරීම සහ ඔවුන් සමාජය තුල අහඹු ලෙස ව්‍යාප්තව සිටීමද සිදු විය හැක.
එමෙන්ම, කොවිඩ් පාලනය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලීක පැරාමිතින්ට අනුව කොවිඩ් වසංගතය සදහා මහජනතාව සහ රටවල් සූදානම් කර තැබීමේදී, අපි “වඩාත්ම භායානක අනුමානයට” සූදානම් විය යුතුය. ඒ අනූව කොවිඩ් සමාජ පැතිරීමක් නොවන බව පුන පුනා කීමෙන්, රෝගය පාලනයට අනර්ථයක් සිදුවෙනවා සේම, ජනතාව පොකුර වෙත අවධානය යොමු කරමින්, තම තමන්ගේ සාමාන්‍ය අනුමාන මත ලිහිල් ආරක්ෂිත ප්‍රතිපත්තියකට යෑම තුල තත්වය අතිශය භයානක වීමේ ඉහල සම්භාවිතාවයක් පවතී.
විශේෂයෙන්ම සාමාන්‍ය මහ ජනතාවට තීරණ ගනු ලබන්නේ බුද්ධි අංශ තොරතුරු හෝ උපක්‍රම මත පදනම්ව නොවන බැවින් මෙය “සමාජ පැතිරීමක්” ලෙස සලකා කටයුතු කිරීම විද්‍යාත්මකවත්, ප්‍රායෝගිකවත් අනුගමනය කල යුතු වඩා සුදුසු ක්‍රියා මාර්ගයයි. එමනිසා පොකුරු වලට හෝ ගම්පහට පමණක් අවධානය යොමු නොකර, තමන් අවට සිටින ඕනෑම කෙනෙකුගෙන් රෝගය බෝවිය හැකි බව සලකා ආරක්ෂා වන ලෙස අප මහ ජනතාවගෙන් ඉල්ලා සිටි අතරම ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.
සමාජ ව්‍යාප්තිය නිවැරදිව හඳුනා ගැනීම සඳහා සහ අසාදිතයන් හඳුනා ගැනීමේ පරීක්ෂණ සිදු කළ යුතු නිවැරදි ආකාරයත් එහි ප්‍රතිදේශ පරීක්ෂණයේ වැදගත්කමත් පිළිබඳව පහත දක්වා ඇති කෝවිඩ්19 රෝග හඳුනාගැනීමේ රසායනාගාර පරීක්ෂණ ගැලීම් සටහන මඟින් පැහැදිලි කරනු ලැබේ.
රූප සටහන 1: කෝවිඩ්19 රෝග හඳුනාගැනීමේ රසායනාගාර පරීක්ෂණ ගැලීම් සටහන
කොවිඩ්19 අසාදිතයන්ගෙන් 80% ක පමණ ප්‍රමාණයක් රෝග ලක්ෂණ නොමැති හෝ සුළු රෝග ලක්ෂණ සහිතව ස්වාභාවිකව සුවපත් විය හැකි අසාදිතයන් බව සැළකෙන බැවින් PCR පරීක්ෂණ මඟින් එලෙස සුවපත් වූ රෝගීන් හඳුනා ගැනීමට නොහැකිය. එනයින් සමාජයේ අහඹු ලෙස සිටිය හැකි රෝගීන් උක්ත සටහනේ පරිදි ප්‍රතිදේහ පරීක්ෂණයන්ට ලක් නොකිරීම හේතුවෙන් සමාජය තුල හඳුනා නොගත් රෝගීන් සුළකිය යුතු ප්‍රමාණයක් අප නොදැනුවත්මය මඟ හැරී තිබිය හැක.
මෙම දත්ත බුද්ධි අංශ විසින්ද අදාල කර නොගන්නා බැවින් ඔබ අවට ඕනෑම තැනක, ඕනෑම අවස්ථාවක රෝගය බෝ කිරීමේ හැකියාව සහිත රෝග ලක්ෂණ නොමැති පුද්ගලයන් සිටිය හැකි බව උපකල්පනය කරමින් කටයුතු කිරීම මෙම රෝගය පැතීරීම වලක්වා ගැනීමට අත්‍යාවශ්‍යය. එනම් රෝගය සමාජගත නොවූ බවට සනාථ කිරීම සඳහා දත්ත එක්රැස් කිරීමට වඩා රෝගය සමාජගත වූවා යැයි සළකමින් ඊට සූදානම් වීම සහ රට සූදානම් කිරීම වඩා ප්‍රායෝගිකය. එය වනාහි ලෝක සෞඛ්‍ය අංශ විසින් අවධාරණය කරනු ලබන වඩාත් භයානක අනුමානය සඳහා කටයුතු කිරීමේ ක්‍රමවේදයයි.
රවී කුමුදේශ් – සභාපති – සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

