Covid 19 – අද දින දේශීය නිල පුවත් එකතුව

Spread the love

උසස්පෙළ – ශිෂ්‍යත්ව අයැදුම්පත් කැඳවීම මාර්තු 31 තෙක් කල් යයි

මේ වසරේ දී පැවැත්වීමට නියමිත අ.පො.ස. (උසස් පෙළ) විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයැදුම්පත් කැඳවීමේ අවසාන දිනය මාර්තු 31 දින දක්වා දීර්ඝ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙතෙක් විභාගයට අයැදුම් කිරීමට නොහැකි වූ අපේක්ෂකයන් වේ නම් ඔවුන් අන්තර්ජාලයෙන් පමණක් අයදුම් කළ යුතු බවද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. ඒ සම්බන්ධයෙන් යම් ගැටලුවක් මතු වේ නම් 1911 ක්ෂණික ඇමතුම් අංකය අමතා තොරතුරු ලබා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව කියන්නේ.

ශ්‍රී ලාංකික මග පෙන්වන්නාගේ පුත්‍රයා රෝහලෙන් පිටව යයි

කොරෝනා රෝගය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශ්‍රී ලාංකික මග පෙන්වන්නාගේ පුත්‍රයා අංගොඩ අයි.ඩී.එච් රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය. එම දරුවා ඉකුත් 13 වැනිදා අංගොඩ අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කර ඇත්තේ උගුරේ ඇති වූ වේදනාවක් සහ හිසරදය හේතුවෙන් බව එම ප්‍රකාශකයා කීය.

රජයේ සේවකයින්ට ලබා දුන් නිවාඩුව දීර්ඝ කරන්නේ නෑ

අද (16) රජ්‍ය සේවකයින්ට ලබා දුන් නිවාඩුව දීර්ඝ කිරීමේ සූදානමක් නැතැයි සමකැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අද (16) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියා. කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් රජයේ ආයතන හා පොදු ස්ථානවල විෂබීජ හරණය කිරීම හේතුවෙන් රජය විසින් අද දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ බවයි ගුණවර්ධන මහතා කියා සිටියේ.

උසාවි වසා දැමීමට නීතිඥ සංගමයෙන් යෝජනාවක්

කොරෝන වෛරස් අවදානම හේතුවෙන් දිවයිනේ සියලුම උසාවි හෙට (17) සිට මෙම මස සිකුරාදා (20) දක්වා වසා දැමිමට යෝජනා කරන බව  ශ්‍රී ලංකා නිතිඥ සංගමය නිවේදනයක් නිකත් කරමින් ප්‍රකාශ කරයි. අගවිනිසුරුතුමා සහ අධිකරණ සේවා කොමිසම සමඟ සාකච්ඡා කර මේ  පිළිබඳව අවසාන තීරණයකට එළැඹෙන බවද නිතිඥ සංගමය වැඩිදුරටත් කියා සිටී.

අධ්‍යාපන අමාත්‍යාංශ මහජන දින හමුව තාවකාලිකව නතර කෙරේ

අධ්‍යාපන අමාත්‍යාංශය විසින්  අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් සෑම බදාදා දිනකම අමාත්‍යාංශ පරිශ‍්‍රයේ පවත්වනු ලබන මහජන හමුව මෙම මස 18වන බදාදා නොපැවැත්වෙන බව දන්වා සිටින අතර නැවත පවත්වන දිනය පසුව දැනුම් දෙනු ලැබෙන  බව අධ්‍යාපන අමාත්‍යාංශය  නිවේදනයක් නිකුත් කරමින් දක්වා තිබේ.

අවුරුද්දට ඇඳුම් ගන්න යන්න එපා – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේදී ඇඳුම් මිලදී ගැනීමේ කටයුතුවලින් හැකිතාක් ඈත්වී සිටින්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ජනතාවගෙන් ඉල්ලා සිටියා.

මේ සදහා හේතු පැහැදිලි කරමින් අනිල් ජාසිංහ මහතා කියා සිිටියේ කොරෝනා වයිරසය පැතිරයාමේ අවදානමක් පවතින නිසා මෙම ඉල්ලීම කරන බවයි.

ඇඳුම් අලෙවි කරන ස්ථානයන්හි ඇති ඇඳුම් විවිධ පුද්ගලයින්  විසින් ඇල්ලීම මෙන්ම ඇඳ බලා තබායාම ආදිය සිදුවන බැවින් අවුරුද්දට පෙර කරන ඇඳුම් මිලදී ගැනීම මෙවර මග හැරීම සුදුසු බව ද එමෙන්ම ගමන් බිමන් යාම හා ජනතාව ගැවසෙන තැන්වලට යාමෙන් හැකිතාක් ඈත්වන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කීවේය.

දින නියම වූ නඩු විවෘත අධිකරණයේ කැඳවන්නේ නැහැ – අධිකරණ සේවා කොමිසම

ඉදිරි තෙදින තුළ දිවයිනේ සියලු අධිකරණවලදී, දින නියම වූ නඩු විවෘත අධිකරණයේ කැඳවීමක් නොකරන බවත්  ඒ අනුව හෙට (17) සිට ලබන 20 වැනිදා තෙක් ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, දිසා අධිකරණ සහ ⁣මහේස්ත්‍රාත් අධිකරණවල නඩු වෙනත් දිනයන් හි කැඳවන බවත් අධිකරණ සේවා කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියයි. එම නඩු අප්‍රේල් මුල් සතියේ කැඳවීමට තීරණය කළ බවයි අධිකරණ සේවා කොමිසම වැඩි දුරටත් සදහන් කළේ.

22 වැනි ආසාධිතයාත් වාර්තා වෙයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ 22 වැනි කොරෝන ආසාධිතයා වාර්තා වී ඇති බවත් 73 හැවිරිදි මෙම පුද්ලයා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

අනුරාධපුර පූජා නගරයේ ආගමික උත්සව තාවකාලිකව නතර කිරිමට යයි

විවිධ ආගමික සංවිධාන මගින්  සතිඅන්තයේ අනුරාධපුර පූජා නගරය ආශ්‍රිතව සිදු කරනු ලබන ආගමික උත්සව තාවකාලිකව නතර කිරීම සඳහා අටමස්ථානාධිපති නාහිමිපාණන් ඇතුළු නායක හිමිවරුන්ගේ දැනුවත්  කිරීමට බලාපොරොත්තු වන බව අනුරාධපුර මහ දිසාපති නීතිඥ ආර්.එම්. වන්නිනායක මහතා  මහතා පැවසීය.

අනුරාධපුර දිස්ත්‍රික්කයට නව කොරෝනා වෛරසය ඇතුළු වුවහොත්  එය මර්දනය කිරීමට ගත හැකි පියවර සම්බන්ධයෙන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද (16) පැවති  සාකච්ඡාවකදී මහ දිසාපතිවරයා මේ  බව පැවසීය.

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර පැතිරූ දෙදෙනෙක් අත්අඩංගුවට

කොරෝන වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිර වූ තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවත් තවත් 40 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා අද (16) පැවති ප්‍රවෘති සාකච්ජාවකදී පැවසීය.

ඌව වෙල්ලස්ස සරසවියේ නවක සිසුන් බඳවා ගැනීම කල් යයි

ලබන 23 වැනිදා සිදු කිරීමට නියමිතව තිබූ වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ නවක සිසුන් බදවා ගැනීම නැවත දැනුම් දෙන තුරු කල්දැමූ බව ඌව-වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි . 2018 වසරේ අපොස උසස් පෙළ විභාගය සමත් වූ සිසුන් මෙසේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට බදවා ගැනීමට නියමිත යැයි ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා වැඩිදුරටත් සදහන් කළේය.

ග්‍රහලෝකාගාරය දින නියමයක් නොමැතිව වසා දමයි

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය හෙට (17) දින සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගන්නා බවත් එය විවෘත කරන දිනය සම්බන්ධව පසුව දැනුම් දෙන බවත් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාර​​යේ අධ්‍යක්ෂ කේ. අරුණ ප්‍රභා මහත්මිය ප්‍රකාශ කළාය.

හැඳුනුම්පත් එක්දින සේවාව තවකාලිකව අත්හිටුවයි

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමෙන් මහජනතාව ආරක්ෂා කර ගැනීම සදහා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව හෙට දින (17) සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි දෙදෙනෙක් අසාධ්‍ය තත්ත්වයෙන් බදුල්ල රෝහලට

දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ රදවා ගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද (16) අසාධ්‍ය තත්වයෙන් බදුල්ල පළාත් මහ රෝහලට ඇතුළත් කර ඇතැයි දියතලාව පොලිසිය පැවසීය.

ඉතාලියේ සිට පැමිණ දියතලාව පැරණි ලටෙක් ඉංජිනේරු  වැඩබිමෙහි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි වයස අවුරුදු 17 ක පිරිමි අයෙකු හා වයස අවුරුදු 61 ක කාන්තාවක් නිරෝධායන මධ්‍යස්ථානයේ සිටියදී උණ රෝගයට ලක්වීම හේතුවෙන් බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බවයි දියතලාව පොලිසිය වැඩි දුරටත් සදහන් කළේ.

RSL

Related Posts