Covid-19 මර්දනයට ජනපති විශේෂඥ වෛද්‍ය මත විමසයි

Spread the love

කොරෝනා වෛරසය රට තුළ පැතිර යාම කඩිනමින් මර්දනයට අවශ්‍ය විශේෂඥ වෛද්‍ය අදහස් ලබාගැනීමේ අරමුණින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ක්ෂේත්‍ර කිහිපයක විශේෂඥ වෛද්‍යවරු අතර හමුවක් අද (09) දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.

කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීමට රජය සහ ආරක්ෂක අංශ මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත් ක්‍රියාමාර්ග සහ ඉදිරියට අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

මේ වන විට වෛරසය ආසාධිත පුද්ගලයන් ලඟින් ඇසුරු කළ කණ්ඩායම් හා ඉන් අදියර දෙකක් ඉදිරියට සබඳතා පැවැත්වූ පුද්ගලයන් හඳුනාගනිමින් පරීක්ෂණ කිරීමේ වැදගත්කම විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දුන්හ.

වෛරසය හඳුනාගැනීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල (Test Kits) ප්‍රමාණවත් තරම් තිබුණද පැවතියත් ඕනෑම තත්ත්වයකට මුහුණ දිය හැකි වන පරිදි ඒවා ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය.

ලෝකයේ සෙසු රටවල් අභිබවා යමින් වෛරසය පැතිර යාම වැළැක්වීමට ජනාධිපතිතුමා ගෙනගිය නිරෝධායන වැඩපිළිවෙළ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමේ පැසසුමට ලක්විය. එම නිරෝධායන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම වෛරසය පැතිර යාම වැළැක්වීමට ඇති වැදගත්ම ප්‍රවේශය බව වෛද්‍යවරු පවසති.

වෛරසය පැතිර ගොස් නැති ප්‍රදේශ ආරක්ෂා කරගැනීමේ වැදගත්කම වෛද්‍යවරු දැඩිව අවධාරණය කළහ. එම ප්‍රදේශවලට වෛරසය පැතිරී ඇති ප්‍රදේශවලින් සංචරණය නවත්වාගත යුතු බව ඔවුනගේ මතය විය.

“පංචායුධ” ක්‍රමවේදයක් ලෙස සෑම අයෙකුම හැකි උපරිමයෙන් නිවසේ රැඳී සිටීම පළමු පියවර ලෙස ඉතා වැදගත් බව වෛද්‍යවරු පවසති. නිවසින් පිටව යාමේදී මුව ආවරණයන් පැළඳීම, මුහුණ ඇල්ලීමෙන් වැළකීම, සෑමවිටම මීටරයක දුරස්ථභාවය පවත්වාගනෙ යාම සහ අත හොඳින් සේදීම පංචායුධ ක්‍රමවේදයට අයත් වේ.

විශේෂඥයන්, විශ්වවිද්‍යාල, තාක්ෂණික ආයතන, පුද්ගල කණ්ඩායම් COVID – 19 ආශ්‍රිතව නව සොයාගැනීම් ගණනාවක් කර ඇත. ඒවායේ සොයාගැනීම් කඩිනමින් විශේෂඥ මට්ටමෙන් පර්යේෂණයට ලක්කිරීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් කෙරිණ.

කොරෝනා වෛරසය ඉක්මණින් ආසාදනය විය හැකි පුද්ගලයන් පිළිබඳවත්, ඔවුන් ඉන් මුදාගැනීමට අනුගමනය කළ යුතු ක්‍රමවේද කවරේද යන්නත් ජනාධිපතිතුමා විමසීය.

දියවැඩියාව, ඇදුම සහ හෘද රෝග ඇති පිරිස් දැඩි අවධානයෙන් සිටිය යුතු අතර, ඔවුන් නියම කර ඇති ඖෂධ නිසි පරිදි ගත යුතු බව වෛද්‍යවරු කියා සිටියහ. එමෙන්ම දුම් පානයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිමේ වැදගත්කම ද ඔවුහු අවධාරණය කළහ. සෑම අයෙකුම නිරන්තරයෙන් උගුර ආශ්‍රිත ප්‍රදේශ තෙත්ව තබාගැනීමට දියර පාන ගැනීමේ වැදගත්කම ද පෙන්වා දෙනු ලැබිණ.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ  යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, හිටපු ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, විශේෂඥ වෛද්‍යවරුන් වන වජිර සේනාරත්න, ආනන්ද විජේවික්‍රම, මහාචාර්ය සරත් ජයසිංහ, මහාචාර්ය අර්ජුන ද සිල්වා, වෛද්‍ය එම්.සී. වීරසිංහ, මහාචාර්ය නීලක මලවිගේ, ප්‍රසාද් කටුලන්ද, මහාචාර්ය වජිර දිසානායක, මහාචාර්ය රංජනී ගමගේ, කුමුදුනී රණතුංග, අමිත ප්‍රනාන්දු, ඉන්දික ලැනරෝල් සහ ජූඩ් සමන්ත යන මහත්ම මහත්මීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

RSL

Related Posts