Covid නිසා වැටුණු දේශීය සිනමාව රැකගැනීම උදෙසා දෙවසරක වැඩපිළිවෙළක්

Spread the love

කොවිඩ්-19 හමුවේ දේශීය සිනමා කර්මාන්තය රැක ගැනීම උදෙසා රාජ්‍ය මැදිහත්වීමෙන් දෙවසරක කාලයකට සහන ලබා දීමට අදාළ සාකච්ඡාවක්  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

සිනමා කර්මාන්තයේ නියැළි වෘත්තිකයන්ගේ සංගම් හා සංවිධාන ආශ්‍රිත ගැටලු සාකච්ඡා කිරීමට මෙම හමුව කැඳවා තිබිණි. චිත්‍රපට නිෂ්පාද සංසදය, ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය, දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානය හා සිනමාශාලා හිමියන්ගේ සංගමය මෙම හමුවට එක් විය.

කොවිඩ් -19 අර්බුදය හමුවේ සිනමා කර්මාන්තය ඉතා අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් සහ සිනමාශාලා හිමියන් මෙම හමුවේදී අග්‍රාමාත්‍යවරයාට පැහැදිලි කළේය.

එහිදී 2021-2023 ජන ආකර්ෂණීය චිත්‍රපට 25ක් ප්‍රදර්ශනය කිරීම හා මෙම අභියෝගාත්මක කාලයේ දේශීය සිනමා කර්මාන්තය නඟා සිටුවීමට අදාළ ප්‍රායෝගික වැඩපිළිවෙළ මෙන්ම සිනමා ශාලාවල වර්තමාන තත්ත්වයත් අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කෙරිණි.

සිනමා ශාලා හිමියන්ගේ විදුලි ගාස්තු ඒකක ගණනය කිරීමේ දී කර්මාන්ත ගණයට ගෙන එම අය කිරීම ඉදිරියට ගෙනයාම, විනෝද බද්ධ වසර දෙකක කාලයක් සඳහා සියයට 05 දක්වා අඩුකිරීම, බෙදාහැරීමේ ගාස්තු අහෝසි කිරීම හෝ අවම කිරීම, මේ සම්බන්ධ තීන්දු ගැනීම විශේෂ කමිටුවක් යටතට පත්කිරීම, සිනමා පට නිෂ්පාදනය සඳහා සියයට 4 හෝ 6 පොලී අනුපාතයට රාජ්‍ය බැංකුවලින් ණය ලබා ගැනීම, සහනදායී ලෙස රාජ්‍ය හා සියලු මාධ්‍යවල ප්‍රචාරක වැඩපිළිවෙළක් ඇති කිරීමට මෙම හමුවේදී අවධානය යොමු විය.

මෙම යෝජනාවලට අදාළ තීන්දු ගැනීම සඳහා එක් එක් ආයතන හා අංශ වෙත යොමුවී සාකච්ඡා කරන ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී දැනුම් දුන්නේය.

ඒ අනුව අදාළ ආයතන හා අංශ දැනුවත් කරමින් ඉදිරියේදී මෙම සහන ක්‍රියාත්මක කිරීමට අදාළ අවසන් තීන්දුවලට එළැඹීමට නියමිතව ඇත.

බන්දුල ගුණවර්ධන මහතා චිත්‍රපට නිෂ්පාදකයෙකු ලෙසත්, අමාත්‍ය සරත් වීරසේකර මහතා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු ලෙසත් මෙම අවස්ථාව සඳහා සහභාගීවීම විශේෂත්වයකි.

Tags: