ඉන්දීය ගොවීන්ට මැර තර්ජන – යළි ගැටුම් ඇවිලේ

Spread the love

නාඳුනන පිරිස් ගොවීන් වෙත ගොස් ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස පැවසීමත් සමඟ ගැටුම් ඇති විය

කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණවලට එරෙහිව දිල්ලි අගනුවර විරෝධා දක්වන ගොවීන් සහ පොලිසිය අතර අද (29) සිංගු දේශ සීමාවේ ඇති වූ ගැටුම්වලින් පොලිස් නිලධාරීන් සහ ගොවීන් පිරිසක් තුවාල ලබා තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ආකාරයටනාඳුනන පිරිසක් පැමිණ ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ගොවීන් තර්ජනය කර ඇති අතර එහිදී ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් ගැටුම් ඇති වී තිබෙනවා.

ගොවීන් පවසන්නේ මිනිසුන් කණ්ඩායම ඔවුන්ට ගල් ගසා ඔවුන්ගේ කූඩාරම් ද විනාශ කළ බවයි.

මාසයකට වැඩි කාලයක් තිස්සේ දිල්ලියේ දේශසීමා අසල දස දහස් ගණනක් ගොවීන් කඳවුරු බැඳගෙන සිටිනවා. ගොවීන් ඉල්ලා සිටින්නේ කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ නීති අවලංගු කරන ලෙසයි.  නමුත් රජය පවසන්නේ එකී ප්‍රතිසංස්කරණ මගින් මෙම අංශය ලිහිල් කරනු ඇති බවයි.

රජයේ කරුණු දැක්වීම් දැඩිව ප්‍රතික්ෂේප කරන ගොවීන් පවසන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් දුප්පත් වනු ඇති බවයි. 

ඉන්දියාව මෙතෙක් දැක ඇති දීර්ඝතම ගොවීන්ගේ විරෝධතාව මෙයයි.

දේශ සීමාවේ තත්වය තවමත් නොසන්සුන් අතර මේ වන විට සිය ගණනක් පොලිස් නිලධාරීන් යොදවා ඇති බව බීබීසී දිල්ලි වාර්තාකරු පවසනවා.

පොලිසිය පවසන්නේ ඔවුන් විරෝධතාකරුවන්ගේ අනන්‍යතාවය සොයා ගැනීමට උත්සාහ කරන බවයි. ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරන පරිදි ප්‍රහාරයට සම්බන්ධ පිරිස් පවසා ඇත්තේ පිට පළාත්වල සිටි දිල්ලියට පැමිණි මෙම විරෝධතාකරුවන් තම නගරයේ සාමයට හා ඔවුන්ගේ ජීවනෝපායට බාධා කරන බවයි.

අද දින මෙම ගැටුම් හට ගත්තේ පසුගිය 26 වැනිදා සිදු වූ දැඩි ගැටුම්වලට පසුවයි.

සිංගු දේශ සීමාවේ පොලිස් නිලධාරීන් සිය ගණනක් යොදවා තිබේ
සිංගු දේශ සීමාවේ පොලිස් නිලධාරීන් සිය ගණනක් යොදවා තිබේ

විරෝධතාවයේ තවත් ස්ථානයක් වන ගාසිපූර් දේශ සීමාවේ තත්වය ද මේ වන විට නොසන්සුන් වී තිබෙනවා. ගොවීන් පැවසුවේ ඔවුන් ඉවත් කිරීමට පොලිස් නිලධාරීන් පැමිණ ඇති නමුත් එය සිදු නොවූ බවයි.

ප්‍රමුඛ පෙළේ ගොවි නායකයෙකු වන රාකේෂ් ටිකයිට් ඊයේ රාත්‍රියේ ගොවීන්ට දැඩි ආයාචනයක් කළ අතර ගාසිපූර් දේශ සීමාවේ පැවති විරෝධතාවලට එක්වන ලෙස ආයාචනා කළා. එතැන් සිට තවත් දහස් ගණනක් විරෝධතාකරුවන් එම ස්ථානයට පැමිණ තිබෙනවා.

බී.බී.සී වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

Tags: