ප්‍රමුඛ කෘෂිකර්මික ගැටලුවලට තිරසර විසදුමක් දුන් තරුණ නිර්මාණ ශිල්පියා

Spread the love

මෙරට කෘෂිකර්මාන්තය මුහුණ පාන ප‍්‍රමුඛ ගැටලුවක් වන්නේ වනසතුන්ගෙන් සහ විවිධ පළිබෝධකයින්ගෙන් සිදුවන හානියයි. ඇතැම් පර්යේෂකයින් කියන ආකාරයට වනසතුන්ගෙන් කෘෂිකාර්මික බෝගවලට සිදුවන හානිය සියයට 30-40 අතර පවතින අතර පලතුරු වගාවට ද වනසතුන්ගෙන් විශාල හානියක් සිදුවේ.

මෙකී විනාශය වළක්වා ගැනීම සඳහා දශක කිහිපයක් තිස්සේ විවිධාකාර පර්යේෂණ හා නිෂ්පාදන සිදු වුව ද අදත් වනසත්ත්ව හානි ප‍්‍රධාන ගැටලූවකි. මේ තත්ත්වය තුළ නව නිර්මාණ ශිල්පියෙකු සහ ජාත්‍යන්තර සම්මානලාභියෙකු වන අරුණ ද සිල්වා විසින් නිෂ්පාදිත කෘමි විකර්ෂණ දියරය සහ වගා ආරක්ෂණ යන්ත්‍රය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක්ව පවතී.

කෘමි විකර්ෂණ දියරය

මුළුමනින්ම දේශීය අමුද්‍රව්‍ය යොදා තැනූ මෙම දියරයෙන් වගාවලට හානි කරන බොහෝ කෘමි සතුන්ගෙන් වගාව බේරා ගත හැකිය. දියර ඉසින යන්ත්‍රයක් ආධාරයෙන් ඉසීම මඟින් වගාවන්ට හානි කරන සියලු කෘමීන්, දළඹුවන්, ගොළුබෙල්ලන් ආදී සතුන්ගෙන් වගාව බේරාගත හැකිය. එසේම මෙම දියරය මිනිසාට විෂ සහිත නොවන අතරම පරිසරයට හානිදායක නොවීම ද විශේ‍ෂත්වයකි. මෙම දියරයට රජයේ කාර්මික ආයතනයේ ද ප්‍රමිති සහතිකය හිමිව තිබේ.

වගා ආරක්ෂණ යන්ත්‍රය

මෙය, 2017 ජිනීවා හි පැවති 45th Salon International of Inventions නව නිර්මාණ තරගාවලියේ දී කෘෂිකාර්මික අංශයෙන් තෙවැනි ස්ථානය දිනාගෙන මෙරටට කීර්තියක් අත් කර දීමට සමත් වූ මෙම නිර්මාණයකි. උපකරණය මේ වන විට වාණිජ මට්ටමින් නිෂ්පාදනය කිරිමට කටයුතු කරමින් තිබෙන අතර මේ වන විට නිෂ්පාදන ඇණවුම් රැසක් ලැබී ඇති බව ද අරුණ පවසයි.

“වගා ආරක්ෂණ යන්ත්‍රය කියන්නේ මගේ ප්‍රධානතම නව නිර්මාණය. මේ උපකරණය නිර්මාණය කරන්න මුල් වුණේ ගොවින්ගේ වගා බිම් කෘමීන්ගෙන් පමණක් නොවෙයි පක්ෂීන්ගෙන් ද අතින් යම් ප්‍රමාණයකට විනාශ වී පලදාව අඩු වන ගැටලුවට විසඳුමක් දෙන්නයි. මේ හරහා වගාවට හානි කරන කෘමි සතුන් මෙන්ම පක්ෂීන්ගෙන් ද වගාව ආරක්ෂා කරගත හැකි වනවා. මෙම නිර්මාණය තුන් ආකාරයකට වගාව ආරක්ෂා කිරීම සිදු කරනවා. එනම් නලා ශබ්දයක් නැතිනම් සයිරන් ශබ්දයක් නිකුත් කිරීමෙන්, ආලෝක ධාරාවක් නිකුත් කිරීමෙන් සහ කෘමි විකර්ෂණ දියරයක් ඉසීම මඟින්.

මෙම උපකරණයේ සවි කර ඇති නලා පද්ධතිය ගිරවුන්, වී කුරුල්ලන්, පරෙවියන්, මීයන්, හාවුන්, වවුලන් සහ ගොයම් මැස්සන්ට දැරිය නොහැකි ආකාරයේ සංඛ්‍යාතයක් සහිතයි. මෙම සයිරන් පද්ධතියේ විශේෂත්වය වන්නේ අදාළ සතුන්ට අනුවර්තනය වීමට නොහැකි ආකාරයෙන් (වේරියේෂන්) ශබ්දය නිකුත් වීමයි. තත්පර තුනක් ඇතුළත එක් සංඛ්‍යාතයක් නිකුත් වී නැවත වෙනත් සංඛ්‍යාතයක් නිකුත් කෙරෙනවා. මෙහිදී උස් පහත් ආකාරයෙන් සංඛ්‍යාත නිකුත්වීම ද සිදු වෙනවා. එවිට අදාළ සතුන් එම ශබ්දයන්ට හුරු වීම සිදු වන්නේ නැහැ.

මෙම යන්ත්‍රයට එක් කර ඇති ආලෝක ධාරා පද්ධතිය (Lighting System) ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන සේ තමයි නිර්මාණය කර තිබෙන්නේ. තත්පර කිහිපයක් තුළ දී එම ආලෝක ධාරා රතු, සුදු සහ නිල් ආලෝකවලට වෙනස් වෙමින් නිවී පත්තු වෙනවා. මෙම ආලෝක පද්ධතිය වී හැඩයට සතුන්ගේ ඇස්වලට එල්ල වන ආකාරයෙන් සවි කර තිබෙනවා. එක එල්ලේ ඇස්වලට එල්ල වන ආලෝක ධාරා දරාගත නොහැකිව සතුන් එම ස්ථානය මඟහැර යනවා.”

සතුන් විකර්ෂණය වන ආකාරයේ ගන්ධයක් වහනය යුත් ද්‍රාවණ කිහිපයක් සහිත පද්ධතියක් ද මෙම නිර්මාණයට එක් කර තිබෙනවා. එතුළින් බලාපොරාත්තු වන්නේ කෘමීන් පලවා හැරීමයි. පරිසරයට එක් වන එකිනෙකට වෙනස් ගන්ධයන් කෘමීන්ට අහිතකර තත්ත්වයක් ඇති කරනවා. මෙම ගන්ධයන් ඕනෑම දිශාවකට විසිරී හැරිය හැකි ආකාරයෙන් මෙම පද්ධතිය නිර්මාණය කර තිබෙනවා යැයි අරුණ පවසයි.

අරුණගේ මෙම සුවිශේෂ යන්ත්‍රයෙන් වගාවට වින කරන සතුන් පමණක් නොව ස්වභාවික පරිසරයේ සමතුලිතතාවක් ආරක්ෂා වීමට උපකාරී වෙයි. දිවා රාත්‍රී වගාව සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට යොදන මිනිස් ශ්‍රමය හා කාලය ඉතිරි වීම, පක්ෂීන්ගේ ජීවිත ආරක්ෂා වීම, පරිශීලකයාට ක්‍රියාත්මක සහ නඩත්තු කිරීමට පහසු ආකාරයෙන් නිමවා තිබීම මෙහි විශේෂිත තත්ත්වයන්ය. එපමණක් නොව ඉතා කුඩා විදුලි ධාරාවකින් යුත් බැටරියකින් (වෝල්ට් 12/6) ක්‍රියාත්මක කිරීමේ හැකියාව සේම සූර්ය ශක්තියෙන් ද විදුලි බලය ගැනීමට හැකි ආකාරයෙන් නිර්මාණය කර තිබීම තවත් සුවිශේෂීතාය.

මෙම යන්ත්‍රය කුඹුරු, පලතුරු සහ එළවළු වගාවලට, උද්‍යාන වගාවන්ට, බිම්මල් වගාවලට සහ හරිතාගාර වගාවන්ට මෙම යන්ත්‍රයෙන් ගත හැකි ප්‍රයෝජනය අති මහත්ය.

මෙම යන්ත්‍රයම කුඩා වෙනසකට භාජනය කරමින් පලතුරු වගාව පක්ෂීන්ගෙන් බේරා ගැනීමට යන්ත්‍රයක් නිර්මාණය කර තිබේ. විශේෂයෙන්ම පලතුරු වගාවට රාත්‍රී කාලයේ පක්ෂීන්ගෙන් එල්ල වන තර්ජනවලට එරෙහිව මෙම යන්ත්‍රය නිර්මාණය කර තිබේ. මෙමඟින් තත්පර ගණනක දී වෙනස් වන රතු, සුදු සහ නිල් ආලෝක ධාරාවන් නිකුත් වන අතරම සතුන්ට අහිතකර සංඛ්‍යාතයන්ගෙන් නිකුත් වන ශබ්ද එක් කර තිබේ. මෙම උපකරණයෙන් නිකුත් කරන ශබ්ද තරංග මීටර 20ක් දුරට විහිදී යයි.

අරුණගේ මේ සියලු නිර්මාණ පරිසරයට හිතකරය. මෙම නිර්මාණ සියල්ලේම ඇති සුවිශේෂ කාරණයක් වන්නේ උපකරණවලින් නිකුත් කරන දියරවල කිසිම රසායනික ද්‍රව්‍ය ගැබ්ව නොතිබීමයි. කෘෂි රසායන නිසා ලංකාවට අත්ව ඇති ඉරණම ගැන මෙහිදී අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.

අරුණ නිර්මාණය කර ඇති වගා ආරක්ෂක දියරය ගැන රජයේ විශේෂ අවධානයක් යොමුව විය යුතුය. මෙවැනි නව නිර්මාණ වැඩි දුරටත් පර්යේෂණවලට යොමු කර වැඩි දියුණු කර ගැනීමට හැකි වේ නම් මෙරට ගෙන්වන කෘෂි රසායන ද්‍රව්‍යවලට වැට බැඳ මහා මුදල් කන්දරාවක් මෙරට තුළ රඳවා ගැනීමට හැකි වනවා ඇත.

දිනමිණ ඇසුරිණි

Tags: