කොවිඩ්-19 ආසාදිත මවකට සිව් නිවුන් දරු උපතක් !

Spread the love

Covid-19 ආසාදනය වූ 29 හැවිරිදි මවක් විසින් අද (17) දින කොළඹ ද සොයිසා රෝහලේදී සිව් නිවුන් දරු උපතක් සිදුකර ඇති බව ද සොයිසා මාතෘ රෝහලේ අධ්‍යක්ෂිකා සාගරිකා කිරිවන්දෙණිය මහත්මිය ප්‍රකාශ කළාය.

මෙම මව මරදාන, කුප්පියාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය බිහිකළ දරුවන් සිවු දෙනාගෙන් දෙදෙනෙක් පිරිමි දරුවන් වන අතර දෙනෛක් ගැහැනු දරුවන්ය.

ඇය ඉකුත් නොවැම්බර් 30 වනදා ද සොයිසා කාන්තා රෝහලට ඇතුළත් වූ අතර එදින සිදුකළ PCR පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබුණි.

ඒ අනුව ඇය විශේෂ වාට්ටුවකට යොමුකර තිබුණේ අනෙක් මව්වරුන්ට එය ආසාදනය වීම වැළැක්වීම සඳහාය.

කොවිඩ් ආසාදිත මවක් වුවත් වෙනත් රෝහලකට මාරු නොකර ද සොයිසා කාන්තා රෝහලේදීම දරු ප්‍රසූතිය සිදුකිරීමට එහි රෝහල් කාරැ්ය මණ්ඩලය තීරණය කර තිබුණි.

ඇයගේ දරු ප්‍රසූතිය සිදුකළ වෛද්‍යවරු පැවසූවේ නව ජන්ම දැඩි සත්කාර පහසුකම් සිය රෝහලේදීම ලබාදිය යුතු නිසා එම තීරණය ගෙන තිබූ බවය.

සාමාන්‍ය දරු ප්‍රසූතියකදී මෙන් නොව මෙම දරු ප්‍රසූතිය වෛද්‍යවරුන්ට අභියෝගයක් වී තිබුණි.

ඒ නිසාම මෙම සැත්කම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු විශාල පිරිසක් සහහභාගී වී තිබුණි.

එම කණ්ඩායමට විශේෂඥ වෛද්‍යවරු 08 දෙනෙක් ඇතුළු සහභාගී වූ වෛද්‍යවරුන් සංඛ්‍යාව 15කි. 

මෙය කොවිඩ් ආසාදිත මවකට දාව ලොව සිදුවූ පළමු සිව් නිවුන් දරු උපත බව ද විශ්වාස කෙරේ. ගැබ් ගැනීම් 600,000කට මෙවැනි සිවු නිවුන් දරු උපතක් සිදුවන බව වාර්තාවල සදහන් වේ.

මෙය එම මවගේ පළමු දරු ප්‍රසූතිය වන අතර මවගේ රෝගී තත්ත්වය හේතුවෙන් මතු වූ අවදානම නිසා නියමිත කාලයට පෙර සිසේරියන් සැත්කමකින් දරු උපත් සිදුකළ බව ද කිරිවන්දෙණිය මහත්මිය පැවසුවාය.

සති 30 ක් වැනි අඩු  කාලයක් සම්පූර්ණ කර  ඉපදුණු මෙම දරුවන් සිව් දෙනා සහ මව හොද සනීපයෙන් සිටින බවත් ඔවුන් නව ජන්ම දැඩි සත්කාර ඒකකයේ සහ සාමාන්‍ය දැඩි සත්කාර ඒකකයේ රදවා සිටින බව  කිරිවන්දෙණිය මහත්මිය වැඩිදුරටත් පැවසුවාය. 

මිට පෙර අවස්ථා දෙකක දී මෙරටින් කොවිඩ් ආසාදිත මව්වරුන් දෙදෙනෙකුට නිවුන් දරු උපත් සිදුවූ බවට වාර්තා විය. 

Tags: