එළවළු හා පලතුරු සාධාරණ මිලට දෙන්න රජය මැදිහත් වෙයි

Spread the love

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් අසාධාරණ ලෙස එළවළු හා පලතුරු මිල ඉහළ යාම පාලනයට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු ඊට සම්බන්ධ සියලු ආයතනවලට උපදෙස් දී තිබෙනවා. 

ඒ අනුව නියමු වැඩසටහන් ලෙස නාරාහෙන්පිට, මීගොඩ, වැලිසර ආර්ථික මධ්‍යස්ථානවලට සාජුවම ගොවියාගෙන් මිලට ගත් නිෂ්පාදන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක යාන්ත්‍රණයක් ඔස්සේ වෙළඳුන්ට ලබා දීමට සැලසුම් කර තිබෙනවා.  මේ පිළිබඳව නාරාහෙන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ ප්‍රජාව සමඟ විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (14) දින පවත්වනු ලැබුවා.  

නුවරඑළිය, බදුල්ල, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරුන් හා ඒ යටතේ වූ නිලධාරින් මෙන්ම අදාළ දිස්ත්‍රික්කවල ගොවි සංගම් සම්බන්ධ කරගනිමින් නව වැඩපිළිවෙල ක්‍රියාවට නංවන බවයි අමාත්‍යවරයා වෙළඳ ප්‍රජාවට දැනුම් දුන්නේ.

එසේම ගොවිජන සේවා මධ්‍යස්ථාන හා නිලධාරීන් සම්බන්ධ කරගනිමින් මිලට ගන්නා නිෂ්පාදන රජය මඟින් සුරක්ෂිත ඇසුරුම්වල අදාළ ආර්ථික මධ්‍යස්ථානවල වෙළඳුන්ට සාධාරණ මිලට අලෙවි කිරිමටයි පියවර ගැනෙන්නේ.

අදාළ වෙළඳුන් ඉතා සාධාරණ මිල පරතරයක් සහිතව පාරිභෝගිකයාට එම නිෂ්පාදන අලෙවි කළ යුතු අතර, අදාළ මිල ගණන් ප්‍රදර්ශනය කළයුතු බවයි, මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කළේ.

රැගෙන එනවිට සිදුවන හානිය වැළැක්වීමට ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් ඇසුරුම්වල මෙම එළවළු හා පළතුරු ප්‍රවාහනයේ වගකීම රජය ගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.  ඒ නිසා  එළවළු හා පළතුරු හානිවූ බව පවසමින් අධික මිල පරතරයක් පවත්වාගෙන යාම නතර කළයුතු බවද අලුත්ගමගේ මහතා වෙළඳ ප්‍රජාවට අවධාරණය කළා.

රජයේ එම වැඩපිළිවෙලට සම්පූර්ණ එකඟ බවයි අදාළ වෙළඳ සමාගම්වල ප්‍රජාව මෙහිදී කියා සිටියේ.

එසේම ආර්ථික මධ්‍යස්ථානවල වෙළඳසැල් ටෙන්ඩර් මඟින් ලබාගත් පිරිස් වෙනත් අයට කුලියට දීම නිසා විශාල මුදලක් ඒ සඳහා දිනකට වැයවන බවත්, ඒවාද එළවළු හා පළතුරු මිලට එකතුවන බවත් වෙළඳ ප්‍රජාව අමාත්‍යවරයා දැනුම් දුන්නා.

ලබන ජනවාරියේ සිට එම අක්‍රමවත් වැඩපිළිවෙල ක්‍රමවත් කිරීමට අමාත්‍යවරයා පොරොන්දු වුණා. ආර්ථික මධ්‍යස්ථානවල ඒ ඒ වෙළඳ කටයුතු සඳහා වෙන්කොට ඇති වෙළඳසැල්වල වෙනත් වෙළඳාම් කිරීම සහ විවිධ අයට බදු දිම නතර කිරීමට අවශ්‍ය චක්‍රලේඛන ජනවාරි මුල් සතියේ නිකුත්කරන ලෙස මෙහිදී අමාත්‍යාංශ නිලධාරීන්ට අමාත්‍යවරයා දැනුම් දුන්නා.

එසේම කොරෝනා සමයේ වෙනත් වෙළඳාම් සඳහා වෙන්කර තිබූ වෙළඳසැල්වල එළවළු හා පළතුරු අලෙවි කරන බවට වෙළඳ ප්‍රජාව අමාත්‍යවරයාට පැමිණිලි කළ අතර, වහාම අදම එම වෙළඳසැල් අදාළ වෙළඳාමට යෙදවීමට ලිඛිතව දැනුම් දෙන ලෙස නාරාහෙන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ පාලනාධිකාරියට අමාත්‍යවරයා දැනුම් දුන්නා.

දුක් විඳිමින් වෙළඳාම් කරන ව්‍යාපාරිකයාටත් අහිමි අතිවිශාල ලාභයක් අතරමැදියන් ගැනීම වහාම නතර කළයුතු බවත්. ඊට වෙළඳ ප්‍රජාව සහාය ලබා දිය යුතු බවත්, අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියා. 

රජය මඟින් එකතු කිරීමේ මධ්‍යස්ථාන ස්ථාපනය කොට වෙළෙන්දන්ට ලබාදීමේ වැඩපිළිවෙල දින කිහිපයක් කොවිඩ් සමයේ සිදු කළ බවත්. එය සාර්ථක බවත් පෙන්වා දුන් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා රජය සියලු සහන ලබා දෙමින් නිෂ්පාදන ක්‍රියාවලිය සිදු කළද ජනතාවට සාධාරණය ඉටු නොවන බවත්, එය ඉටු කිරීමේ අරමුණෙන් මෙම වැඩසටහන ක්‍රියාවට නංවන බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

නව වැඩපිළිවෙල තුළින් අඩු මිලට එළවළු හා පළතුරු මිලට ගැනීමට ආර්ථික මධ්‍යස්ථාන කරා ජනතාව එක්රොක් කළ හැකි බවත්, ඒ තුළින් අතරමැදි කළුකඩ වෙළඳාම  නතර කිරිමට රජය උත්සාහ දරන බවත්, නාරාහෙන්පිට වෙළඳ ප්‍රජාවට අමාත්‍යවරයා දැනුම් දුන්නා.

එසේම ප්‍රධාන සහල් නිෂ්පාදකයන්, ධීවර සංස්ථාව, මස් හා බිත්තර වෙළඳුන් ද මේ ආකාරයෙන් ආර්ථික මධ්‍යස්ථානවල යොදවන බවද පැවසූ අමාත්‍යවරයා පාලන මිලට ඒවායේ වෙළෙඳාම් සිදු කිරීමට අදාළ චක්‍රලේඛ නිකුත්කොට මිල ප්‍රදර්ශනය කරන බවයි මෙහිදී ප්‍රකාශ කළේ. රජය ආර්ථික මධ්‍යස්ථාන සංකල්පය නිර්මාණය කළේ ජනතාවට සහන මිලට අත්‍යවශ්‍ය දෑ මිලදී ගැනීමේ අරමුණෙන් වුවත් අද සිදු වන්නේ අතරමැදි වෙළඳුන්ගේ මාෆියාවත් බවත්, ජනවාරි මුල් සතිය වනවිට එය මුළුමනින්ම වෙනස් කිරීමේ රජයේ නියෝග චක්‍රල්ඛ මඟින් නිකුත්කරන බවත් මෙහිදී අවධාරණය කළා.

රජය මඟින් ලබාදෙන එක් කිලෝවකින් සිල්ලර ලාභය රුපියල් 20ක් තොග ලාභය රුපියල් 10ක් වැනි මුදලක් ලෙස පවත්වාගෙන යමින් සතියක් නියමු ව්‍යාපෘතියක් ලෙස නාරාහෙන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නංවන ලෙස අමාත්‍යවරයා කළ ඉල්ලීමට ආර්ථක මධ්‍යස්ථානයේ වෙළඳ ප්‍රජාව එකඟත්වය පළ කළා.

නව වැඩපිළිවෙල තුළ සාධාරණ මිලට හොඳම දේ ලබා ගන්නට ආර්ථක මධ්‍යස්ථානවලට පැමිණෙන ලෙස අමාත්‍යවරයා පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

මෙම අවස්ථාවට වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු. පළතුරු ,මිරිස්,ලූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදනය හා උසස් තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එල්.එල්.ඒ. විජේසිරි මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරින්, නාරාහෙන්පිට වෙළඳ ප්‍රජාව සහභාගී වුණා.

මේ අතර, දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක නැවත උද්ගතව ඇති සේනා දළඹු උවදුර පිළිබඳව අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදින් මෙහිදී ප්‍රශ්න කළා.

ඊට රජය මේ වනවිටත් මැදිහත් වී ඇති බවත්. අදාළ දිස්ත්‍රික්කවලට කෘෂි බලධාරින් ගොස් තත්ත්වය සොයා බලන බවත් පැවසූ අමාත්‍යවරයා ඊට අවශ්‍ය කාමිනාශකයක් ද ඉදිරි දින කිහිපය තුළ නිකුත් කරන බව ප්‍රකාශ කළා.එසේම සේනා දළඹු උවදුරෙන් විශාල වශයෙන් හානි සිදු වී ඇති ගොවි ජනතාවට වන්දි ගෙවීමට රජය පියවර ගෙන ඇති බවයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ.

RSL

Related Posts