ගොයමේ තරගකාරී හැකියාව ‘වල් මර්දනයේ මෙවලමක්’ කර ගනිමුද ?
- RSL
- December 11, 2020
- කෘෂිකර්මය, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ගොවිතැන් කිරීම ඇරඹීමත් සමගම මිනිසා පටන්ගත් සමගාමී ක‍්‍රියාවලියක් ලෙස වල්පැල මර්දනය සඳහන් කිරීම නිවැරදිය. ගොවියාගේ අවසරයකින් තොරව යම්කිසි වගාබිමක වැවෙන සියලූ ශාක හඳුන්වන්නේ වල්පැල ලෙසයි. මේවා නිසා බෝග අස්වැන්නේ ගුණාත්මක හා ප‍්‍රමාණාත්මක වෙනසක් ඇතිවේ. ඊට අමතරව නිෂ්පාදන වියදමද ඉහල දමන්නේය.

වී වගාවක නම් සාමාන්‍යයෙන් 15%-20% දක්වා අස්වනු හානියක් වල්පැල නිසා සිදුවිය හැකි අතර ඇතැම්විට මෙම අගය 50% ක් පමණ දක්වා වුවද ඉහළයාමේ හැකියාව තිබේ. වල්පැල පාලනය කිරීම සඳහා ගොවීන් පුරුදුවී ඇත්තේ රසායනික වල්නාශක භාවිතා කිරීමට හා අතින් ගලවා දැමීම වැනි ක‍්‍රමවේදයන්ටය. කෙසේ වෙතත් මෑත යුගයේදී ගොවිතැනට බලපෑ ශ‍්‍රම ඌනතාවය හේතුවෙන් වැඩි නැඹුරුවක් ඇතිවී තිබෙන්නේ රසායනික ක‍්‍රම වෙතටයි.
තත්වය මෙසේ වුවද, පසට හෙළනා රසායනික ද්‍රව්‍යය හරහා සිදුවන පාරිසරික හානි සැළකිල්ලට ගනිමින් සුලභව භාවිතා වූ වල්නාශක කිහිපයක් භාවිතයෙන් ඉවත් කරන්නට මේ වන විට පියවර ගෙන තිබේ. මේ අනුව පැරකොට් 2013 වසරේ සිට හා ග්ලයිෆොසෙට් 2015 වසරේ සිට මෙරට වගාබිම්වල භාවිතා නොවේ.
වල්පැළෑටිද තම ස්වභාවය වෙනස් කරගනිමින් භාවිතයේ ඇති රසායනික වල්නාශක වලට ප‍්‍රතිරෝධීතාවයක් පෙන්වීම ගොවියාගේ අපහසුතාවය තවත් වැඩි කරන්නක් බවට පත්වී තිබේ. බොහෝ පැරණි වී ප‍්‍රභේදයන්හි තිබුනේ ඉක්මනින්ම හොඳ පාංශු වැස්මක් සාදමින් වල්පැල වර්ධනයට ඉඩනොදෙන ”ඇදවැටෙන” පත‍්‍ර සමූහයකි. එහෙත් එතරම් උසට නොවැවෙන නව වැඩිදියුණු කළ වී ප‍්‍රභේදයන්හි තිබෙන සිරස් පත‍්‍ර ස්වරූපය නම් භූමියේ වල්පැල ස්ථාපනය වීමට හිතකර ලෙස ක‍්‍රියාත්මක වන්නක් බව පෙනේ.
මේ අයුරින් වල්පැල බලපෑමෙන් තොරව වී වගාව පවත්වා ගැනීමට මතුවී ඇති අපහසුතාවය නිසාම, එක වල් මර්දන පිළිවෙතකට අනුගත නොවෙමින් පිළිවෙත් කීපයක සම්ප‍්‍රයුක්ත සහයෝගය ලබාගැනීමේ අවශ්‍යතාවය පැනනැගී ඇත. ඒකාබද්ධ වල්පැල කළමනාකරණ සංකල්පය බිහිවූයේ මෙහි ප‍්‍රතිඵලයක් වශයෙනි.

වී වගාවේ ඒකාබද්ධ වල්පැල කළමනාකරණය සේ හැඳින්වෙන්නේ වල් මර්දන ක‍්‍රම දෙකක් හෝ කීපයක් භාවිතා කරමින් කුඹුරේ වල්පැල ගහනය, වී අස්වැන්නේ ආර්ථික හානියක් නොවන මට්ටමකට රඳ පවත්වා ගැනීමයි. පොහොර යෙදීමෙන් ගොයමේ වර්ධන වේගය ඉහළ දැමීම, පාංශු තෙතමනය, වගා ස්ථාපන ක‍්‍රමවේදයන්ගේ වෙනස්කිරීම් (වැපිරීම/පැල සිටුවීම, වගාකරන කාලය හා ගොයම් ශාක ගහනය වැනි සාධක ගණනාවක් මෙම කළමනාකරණයේ මෙවලම් ලෙස භාවිතා කරනු ලබයි.

යම් වී ප‍්‍රභේදයක ඇති ආවේනික වර්ධන විලාසය උපයෝගී කරගැනීමද මෙහිදී යොදාගත හැකිබව අවබෝධවීමත් සම`ගම, දැනට ගොවීන් අතර භාවිතයේ පවතින නිර්දේශිත ප‍්‍රභේදයන්හි යෝග්‍යතාවය මේ සම්බන්ධයෙන් කෙබඳුදැයි සොයාබලන්නට වී පර්යේෂකයින් උනන්දු වී තිබේ. මේ පිළිබඳව අදහස් දක්වන්නේ බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ ආර්.එම්. යූ.එස්. බණ්ඩාර මහතායි.
”අපගේ ප‍්‍රධාන අවධානය යොමුවූයේ වැදියුණු කළ වී ප‍්‍රභේදයන් තුළ වුවත් සහජයෙන්ම ගැබ්වෙලා තිබියහැකි වල්පැල වලට තරඟයක් දීමේ හැකියාව සොයා බැලීම කෙරෙහියි. මේ සඳහා පර්යේෂණ පැවැත්වූයේ 2017/18 මහ කන්නය තුළදී හා 2018 යල කන්නයේදී. මේ සඳහා විවිධ කාණ්ඩ නියෝජනය වෙන පරිදි වී ප‍්‍රභේද 10 ක් භාවිතා කෙරුවා. ඊට Bg 352, At 306 (වැඩි අස්වැන්න දෙන නිර්දේශිත ප‍්‍රභේද At 10-1240, At 10-1327, Bw 11-3403 (අභිජනන වැඩසටහන් හරහා ඉදිරියට එන තෝරාගත් ප‍්‍රභේද) ( Bw 312 වශයෙන් පසුව නිර්දේශ කෙරුනේ Bw 11-3403 ප‍්‍රභේදයයි) AERON 9-3, AERON 10-26, (රැඳි ජලයට ඔරොත්තු දෙන ප‍්‍රභේද, සුවඳැල් (සාම්ප‍්‍රදායික ප‍්‍රභේදයක් IR09N247 (ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනයේ ප‍්‍රභේදයක්) Zhonghua (විදේශික ප‍්‍රභේදයක්) තමයි මේ ප‍්‍රභේද දහය. සාමාන්‍ය වී වැපිරීම කරලා පාත්තිවල වල්පැල ස්වභාවිකව වැවෙන්න ඉඩදීලා බැලූවා කුමන වර්ග සතුවද තරඟකාරී බවක් තියෙන්නේ කියලා. සංසන්දනය කිරීම සඳහා වල්පැල නොමැතිව තබාගත යුතු පාත්තියේ අතින් වල් මර්දනය කෙරුවා”
Harding සහ Jalloh (2013) විසින් සාධනය කරන ලද ගණිතමය සූත‍්‍රයක් ඔස්සේ වල්පැල තරඟකාරීත්වය සඳහා දර්ශකයක් ලබාගැනීමට පර්යේෂකයින් කටයුතුකර තිබේ. එම ගණිතමය නිරූපණය මෙසේ වේ.
තරඟකාරිත්ව දර්ශකය = වල්පැල හා තරඟයක් ඇතිවිටදී අස්වැන්න / වල්පැල නැතිවිටදී අස්වැන්න
තරඟකාරිත්වයක් සඳහා ගොයම් පැළය විසින් සීග‍්‍ර වර්ධනයක් අත්කර ගතයුතු අතර, අඩු කාලයක් තුළදී පත‍්‍ර කිරුළ හරහා පොළොව වසාගනිමින් වල්පැල වර්ධනය අවහිර කළයුතු වේ. ඉහළ මූල පද්ධති පරිමාවකින් යුක්තවීම හා සාපේක්ෂව උස වීමද හිතකර සාධක වන්නේය.

ප‍්‍රතිඵල අනුව සනාථ වී ඇත්තේ භාවිතා කරන ලද දැනටත් නිර්දේශිත ප‍්‍රභේද තුන මගින් හොඳ තරඟකාරිතාවයක් වල්පැල උදෙසා ලබාදෙන බවයි. Bg 352 යන මාස තුනහමාරේ ප‍්‍රභේදය වල්පැල තරඟකාරී දර්ශකය 0.78 ක් ලෙස පෙන්වූ අතර At 306 හි Bw 312හා හි එය පිළිවෙලින් 0.86 ක් හා 0.95 ක් විය.
ඒ අනුව මේවා පිළිවෙළින් තරඟකාරී, ඉහළ තරඟකාරී සහ ඉතා ඉහළ තරඟකාරී වී ප‍්‍රභේදයන් ලෙස නිගමනය කළ හැකිවේ.
මෙම තොරතුරු පවසන ඉඟිය වනාහී අප සතු වී ප‍්‍රභේදයන් සතුව ස්වාභාවිකවම වල්පැල හා තරඟ කරමින් වැඩෙන්නට හැකි වී ප‍්‍රභේදයන් තවත් තිබිය හැකිය යන්නයි. මෙම පර්යේෂණයට යොදාගෙන ඇත්තේ වී ප‍්‍රභේද කීපයක් පමණි. විද්‍යානුකූල පර්යේෂණයකින් පමණක් නොව ගොවි ජනතාව සතු අත්දැකීම් හරහාද යම් තරමකට මෙවන් තොරතුරු ලබාගැනීමට හැකියාව තිබේ.
එම තොරතුරු විද්‍යාත්මකව සනාථ කිරීමෙන් හා ලැබෙන ප‍්‍රතිඵල නැවත කෙතට සම්පේ‍්‍රෂණය කිරීමෙන් පරිසර හිතකාමී ගොවිතැනක් වෙතට දිය හැකි සහය කොපමණදැයි මෙවන් පර්යේෂණයන් හරහා සිතා ගත හැකිය.
පිටපත : සනත් එම්. බණ්ඩාර – සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව
තාක්ෂණික කරුණු : ආර්.එම්.යූ.එස්. බණ්ඩාර, සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ) වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය, බතලගොඩ

