මේ ආණ්ඩුව නටපු නැටුමකුත් නෑ – බෙරේ පළුවකුත් නෑ – එරාන් වික්‍රමරත්න
- RSL
- December 10, 2020
- දේශපාලන, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
‘මේ ආණ්ඩුවට දුප්පත් අහිංසක ජනතාවට දුන්න පොරොන්දු ඉටුකරන්න බැරුව පමණක් නොවෙයි, හරියට අයවැය ඉදිරිපත් කරන්නත් බැරිවෙලා. දිගින් දිගටම පෙන්නුම් කළ අසාර්ථකත්වය, හංගලා ගැහිලි, නොහැකියාව, වගේ හේතු රැසක් විසින් අවිනිශ්චිත බව සහ සැකය පුරවලා. විශ්වාසය පලවා හැරලා‘ යැයි සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා අද (10) දින පාර්ලිමේන්තුවේදී පැවසීය.
අයවැය තෙවනවර කියවීමේදී විවාදයේදී 2021 අයවැය ලේඛනයේ දුර්වලතා සහ ව්‍යාකූල ස්ථාන රැසක් පෙන්වා දුන් වික්‍රමරත්න මහතා වැඩි දුරටත් කියා සිටියේ දැන් ජනපතිට අවශ්‍ය වන්නේ ක්‍රමය වෙනස් කිරීමක් නොව කණ්ඩායම වෙනස් කිරීම බවයි.
එරාන් වික්‍රමරත්න මහතා කළ සම්පූර්ණ කතාව පහත පළ වේ.
රටේ දුගී දුප්පත් ජනතාව, සමෘද්ධිලාභීන්, ස්ථිර ආදායම් නොමැති අයට, දෛනික කුලී කම්කරු රැකියා වල නිරත වූවන්ට, සුවකළ නොහැකි බරපතළ රෝගාබාධ ඇති අයට රුපියල් 3000ක පෝෂණ මල්ලක්, මාසික ජල බිල්පත සඳහා 15% ක සහනයක් , ඒකක 30 ට අඩු විදුලි බිල්පත් සඳහා 25% ක සහනයක්. ගෑස් සිලින්ඩරයකට රුපියල් 100ක්, ගෑස් ලිපක්, rice cooker , ගන්න 25% ක වට්ටමක්, දුරකතන බිලේ බදු මුදලින් 50ක අඩු කිරීමක්, අඩු ආදායම් ලාභී පවුල් වල ගර්භණී මව්වරුන්ට රුපියල් 2000ක දීමනාවක්, වසරකට පාසල් නිල ඇඇඳුම් කට්ටල 2ක්, ආදායම් නැති අවුරුදු 12ට අඩු ළමයි ඉන්න පවුලකට රුපියල් 5000 ක දීමනාවක්, මේ ගරු සභාවට මතකද මේ පොරොන්දු ? කාගෙද මේ පොරොන්දු ? සෞභාග්‍යය දැක්ම පොරොන්දු පත්‍රයේ තිබුණේ මෙහෙමයි.
නමුත් ආණ්ඩුව දැන් වැඩ කරන හැටි කොහොමද ? මේ සෞභාග්‍ය දැක්මේ දෙවැනි වසරේ අයවැය විවාදය. සෞභාග්‍ය දැක්ම අනුව පළමු වසරේ අයවැයක් ගෙනාවෙත් නෑ. දැන් දෙවැනි වසරට ගෙනත් තිබෙනවා. නමුත් කියන්න කණගාටුයි, රජයක අයවැයක් සම්බන්ධව විශ්වාසයක් තිබෙනවා, නමුත් මේ වගේ අයවැය වාර්තා නිසා ඒ විශ්වාසයත් ගිලිහෙනවා.
මේ ආණ්ඩුවට දුප්පත් අහිංසක ජනතාවට දුන්න පොරොන්දු ඉටුකරන්න බැරුව පමණක් නොවෙයි, හරියට අයවැය ඉදිරිපත් කරන්නත් බැරිවෙලා. දිගින් දිගටම පෙන්නුම් කල අසාර්ථකත්වය, හංගලා ගැහිලි, නොහැකියාව, වගේ හේතු රැසක් විසින් අවිනිශ්චිත බව සහ සැකය පුරවලා. විශ්වාසය පලවා හැරලා.
ඇයි අපි එහෙම කියන්නේ ? දැන් බලන්න අගමැතිතුමා මුදල් ඇමති විදියට ඉදිරිපත් කරපු අයවැය කතාවේ කියනවා, රජයේ වියදම රුපියල් බිලියන 3594 යි කියලා. නමුත් ඇස්තමේන්තුවේ සඳහන් වෙන්නේ රුපියල් බිලියන 3649ක් කියලා. රාජ්‍ය බදු ආදායම අරගෙන බලන්න. අයවැය කතාවේ කියන්නේ බදු ආදායම රුපියල් බිලියන 1987ක් කියලා. ඇස්තමේන්තුවේ තියෙන්නේ රුපියල් බිලියන 2029ක් කියලා. ඒ වගේම තමයි අයවැය කතාවේ කියන්නේ අයවැය හිඟය රුපියල් බිලියන 1565ක් කියලා. නමුත් ඇස්තමේන්තුවේ රුපියල් බිලියන 1662ක්. රුපියල් බිලියන 97ක වෙනසක්.
කතානායකතුමනි, ඒ විතරක් නෙවෙයි, ඔබලාට මතක ඇති රාජ්‍ය බදු ආදායම සහ වියදම් ගැන අයවැය තුළත් එක එක පිටුවේ එක එක ඉලක්කම් සඳහන් කරලා තිබුණේ. අපි දන්නවා රාජ්‍ය මූල්‍ය වගකීම් පණත : 2006 සිට රජයේ අයවැය පරතරය දල දේශීය නිෂ්පාදිතයෙන් 5%ක් වෙන්න බෑ. 2016දී, 2017 දී සහ 2018 දී අපි ඒකට කිට්ටු කළා. එයයි නීතිය. නමුත් අයවැය තුළ ඒ රාජ්‍ය මුල්‍ය වගකීම් පණත නොතකා තමයි කටයුතු කරලා තියෙන්නේ. විධායකයට හෝ වෙනත් පාර්ශවයකට අවශ්‍ය ආකාරයට නීති වෙනස් කරන්න බෑ. හැම තිස්සෙම නීති නොසලකා නම් කටයුතු කරන්නේ, එවැනි රටක් පත්විය හැකි තැන හිතා ගැනීම දුෂ්කර නෑ.
ඊයේ මහර බන්ධනාගාරය ගැන කතා කරන කොට මම කිව්වා බන්ඩනාගාර ආඥා පනතේ තියෙනවා රැඳවියන් මරන්න බැහැ කියා. ඒ අවස්ථාවේ දී රාජ්‍ය ඇමතිතුමා උත්තර දෙමින් කියනවා ටී – 56 තුවක්කු තියගෙන ඉන්නේ පොල් ගානදැයි අහුවා. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා මතක් කළා බන්ධනාගාරය තුළ ටී – 56 තියගන්නත් බැහැයි කියලා. නීතියට තිබෙන ගරු කිරීම ගැන අපි ඇමතිවරුන්ගේ ප්‍රකාශවලින්ම අහන්නට ඕනෑ.
පවුලක බන්ධනාගාරයේ රැඳවියෙකු සිටිනවනම් මේ වගේ ප්‍රතිචාරයක් ලැබුණහම නීතිය ගැන ඒ අයට ඇතිවන සැකය කුමක්ද ? නීතියට පමණක් සීමවන්නත් බැහැයි කියා මම කියනවා. ආචාර දර්ම සාර ධර්ම මේ කොයිකත් එහෙමයි. ක්‍රමයට, පිළිවෙලට යන්න බැරි වුණාම තමයි, නීති නවන්න, නීති කඩන්න, නීතියට වංගු දාන්න යන්නෙ. නීතියට පමණක් එය සීමා වන්නේ නෑ. ආචාර ධර්ම, සාරධර්ම මේ කොයිකත් එහෙමයි.
දැන් බලන්න මේ අයවැය කියන විදියට අප රටේ දළ දේශීය නිෂ්පාදනය 2020 වසරේ ධන 1.5%ක් වෙනවා. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF ) මොකද කියන්නේ? ඔවුන් කියන්නේ අපේ රටේ දළ දේශීය නිෂ්පාදනය වර්ධනය සෘණ 4.6%ක් කියලා. ලෝක බැංකුව කීයද කියන්නේ ? සෘණ 6.7%ක් කියලා.
ඒ සියල්ල විදෙස් බලපෑම්, අධිරාජ්‍යවාදී කියලා එක එක ලේබල් ගහලා පැත්තකට කරලා. නමුත් ශ්‍රී ලංකා මහ බැංකුව මොකද කියන්නේ ? ඔවුන් කියන්නෙත් සෘණ 1.4%ක් කියලා. දැන් මහ බැංකුවද හරි ? නැත්නම් මුදල් අමාත්‍යංශයද හරි ? අපි කාගේ දත්තයද ගන්න ඕන. ධන කිව්වොත් දේශප්‍රේමී , සෘණ කිව්වොත් දේශද්‍රෝහීද ? එහෙමද ඉස්සරහට යන්න හදන්නේ ? සෞභාග්‍යයේ දැක්ම ඒකද ? ඒකද වැඩපිළිවෙල? system change කිව්වේ මේකටද ?
අංක සෙල්ලම් දාලා, හංගලා ගහලා
අපි මෙහෙ හිත හදාගන්න වැඩ කරලා තේරුමක් නෑ. මේ ගෝලීය මූල්‍ය දාමයෙන් අපිට මිදෙන්න, හුදකලා වෙන්න අපට බෑ. මේ වෙනකොට ජාත්‍යන්තර ෆිච් ශ්‍රේණි ගත කිරීම්වලින් ශ්‍රී ලංකාව CCC කාණ්ඩය දක්වා පහත දාලා. තව වැටුණොත් අපිව ඒ ආයතන ලැයිස්තුවට ගන්නෙත් නෑ. ඒ වගේම ජාත්‍යන්තර මූඩීස් ( Moodys) පර්යේෂණ ආයතනය කියලා තියෙනවා , ආර්ථිකය වර්ධනය කරන ආණ්ඩුවේ උපක්‍රම සාර්ථක නෑ කියලා. ඒ වගේම 2021 අයවැය හිඟය දල දේශීය නිෂ්පාදිතයෙන් 9%ක ප්‍රතිශතයක් විය හැකි බවටත් පුරෝකථනය කරලා thiyenavaa.
ප්‍රධාන පෙලේ ජාත්‍යන්තර බැංකුවක් වන සිටි බැංකුව ඊයේ ලංකාවේ ආර්ථිකය ගැන ප්‍රකාශයක් නිකුත් කළා. ලංකාවේ ජාතික සංවර්ධන බැංකුවේ ප්‍රධානී ලෙස පත්වීමට පෙරාතුව තරුණ කාලයේ එම බැංකුවේ සේවය කිරීමට මට් වරමක් ලැබුනා. ඔවුන් කරුණක් මතු කළා. එනම් ලංකාවේ ගැටළුව වනුයේ ද්‍රවශීලිතාවය නොව එය විසඳුම් ගැටළුවකි. ඔවුන් නගන චෝදනා ප්‍රතික්ෂේප කිරීම උපාය මාර්ගයක් නොව. ඔබ කළ යුතු වන්නේ ණය යළි ප්‍රතිව්‍යූහ ගත කිරීමයි. එය පැහදිලිව ප්‍රකාශය කර තිබෙනවා. ඇපට ණය දෙන සියලු ජාත්‍යන්තර ආයතන හා බැංකු යම් දෙයක් කියනවා, එහෙත් රජය ඒවා ප්‍රතික්ෂේප කරමින් කාලය ගත කරනවා.
ලොකු ලොකු සමාගම් වලින් ගන්නා සෘජු බදු ප්‍රතිපත්තිය ගැනත් කතා කළ යුතුයි. ආණ්ඩුව පනත් උල්ලංඝණය කරනවා විතරක් නොව ආණ්ඩුව අසාර්ථකයි.කොහොම නමුත් හැම තැනින්ම අහන්න ලැබෙන්නේ ආණ්ඩුවේ අසාර්ථකත්වය. එහෙම අසාර්ථක වෙන ආණ්ඩුවේ උත්සාහය ණය මඟින් ඉදිරියට යාම. නමුත් මේ ජාත්‍යන්තර වර්ගීකරණ ආයතන රටට ලබාදී ඇති සහතිකය හදාගන්නේ නැතුව, ණය ගන්නත් ලැබෙන්නේ නෑ.
ඔන්න ජනතාවට දුන්න පොරොන්දු ඉටු නොකළට මොකද රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමේදී ජනතාව මතක් වෙලා. මේ අයවැය වාර්තාව අනුව රාජ්‍ය අදායම 2020 ට සාපේක්ෂව 2021 දී 14.5% කින් වර්ධනය කරන්න සූදානම්. ආණ්ඩුව එහිදී corporate tax ප්‍රමාණය වර්ධනය කරගන්න යන්නේ 17.7%කින්. 52.2%ක් වර්ධනය කරගන්න යන්නේ ආයතනික නොවන බදු හරහාය. ඒ හරහා සෘජු බදු වැඩි නොකර වක්‍ර බදු වැඩි කර දුප්පත් මිනිසාගේ බඩට ගහන්නේ.
ඒ කියන්නේ මොකක්ද ? හරිම පැහැදිලියි, ලොකු ලොකු සමාගම් වලින් නැතිනම් සෘජු බදු ප්‍රතිශතය ගන්න බලන්නේ නෑ. වක්‍ර බදු වලින් තමයි ආණ්ඩුව එදා වෙල පිරිමහ ගන්නත් සූදානම් වෙන්නේ.
2021 අයවැය ලේඛණයෙන් එම මුදල් නැවත සෘජුවම පාරිභෝගිකයාගෙන් අයකර ගැනීම සඳහා භාණ්ඩ 2574 කට සෙස් බද්දක් සහ, අනෙක් භාණ්ඩ සඳහා භාණ්ඩ සහ සේවා බද්ද පැනවීමට කටයුතු කරමින් ඉන්නේ ඒ සඳහා විය යුතුයි. එහෙත් අය වැය කථාව තුළ ඒ පිළිබඳව සඳහනක් නැහැ.
2019 දෙසැම්බර් මස සිට සියලුම ව්‍යාපාරිකයන් විසින් ගෙවන ලද විවිධ වර්ගයේ බදු මුදල් කපා හැරීම නිසා රජය අහිමි කර ගත් බදු ආදායම රුපියල් බිලියන 600 කට ආසන්න බවට ඇස්තමේන්තු පල වෙනවා.
මෑතක රටේ මහත් ආන්දෝලනයක් ඇතිකළ සීනි බදු සහනය :
ගජමිතුරු සමාගම් නිසා රුපියල් පනහේ බද්ද සත විසිපහට බස්සලා සහනය දුන්නා. සීනි වලින් පමණක් රජයට බිලියන 4ක පමණ බදු මුදලක් අහිමි වුණා. ඔක්තෝබර් 13 වනදා සිට ගත්තොත් සමස්ථ පාඩුව බිලියන 7ට වැඩි මිසක් අඩු නෑ. මේ බදු මුදල් අඩු කිරීමේ වාසිය ජනතාවට ලැබුණද ? සෞභාග්‍යය ගජමිතුරන්ට පමණයි මෙහි වාසිය ලැබුණේ.
ඒ විතරක් නෙවෙයි, මේ වෙනකොට මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන්ගෙන් ඉල්ලා අස්වීමේ ලිපි අරගෙන. මහජන උපයෝගිතා කොමිෂන් සභාව කියන්නේ විදුලි බල අමාත්‍යංශය විසින් විදුලිය මිලදී ගැනීමේ ක්‍රියාදාමය, නියාමනය කිරීම සඳහා පාර්ලිමේන්තු පනතකින් 2002 දී පිහිටුවන ලද ස්වාධින ආයතනයක්. මේක නැති කිරීමෙන් දූෂණයට ඉඩ ලැබෙනවා.
ඔබලාට මතක ඇති පළමු කොරෝනා රැල්ල අවස්ථාවේ සාමාන්‍ය මිල වගේ හතර පස් ගුණයක් වැඩිවූ විදුලි බිල් ආවා. ඒ වෙන්න ගිය අසාධාරණයෙන් ජනතාව බේරුණේ මේ කොමිසම නිසා. ඒ වගේම තමයි විදුලි ඒකක මිල අසාධාරණ ලෙස ඉහල දැමීමටත් නොහැකි, මේ කොමිසම නිසා. ඒ කියන්නේ විදුලි මාෆියාවට, විදුලි ගනුදෙනු ආශ්‍රිත දුෂණ වලට මේ කොමිසම බාධාවක්. අන්න කොමිසමේ සාමාජිකයන්ගෙන් ඉල්ලා අස්වීමේ ලියුම් අරගෙන. දැන් ආයතනය අකර්මණ්‍යයි.
මේ වගේ ආයතන අකර්මණ්‍ය කරන්නේ තමන්ගේ ගජමිතුරු සමාගම් වලට වාසි සලසන්නද ? අවසාන වශයෙන් එක දෙයක් පැහැදිළියි,බොරුව ආයුෂ කොටයි. ඔබලාට ජනතාව හැමදාමත් රවටන්න ලැබෙන එකක් නෑ. මේ රට දශමයක්වත් ඉස්සරහට ගෙනියන්න මේ ආණ්ඩුව අසමත්. ජන්ද පොරොන්දුවේ සිට අයවැය දක්වාත්, අනිත් සෑම අවස්ථාවකදීත් ආණ්ඩුවම එය ඔප්පු කර තිබෙනවා. ඉතින් ඒ අසමත් වෙන තරමට ජනතාවගේ බඩට ගහන තැනට ආණ්ඩුවත් වැටී අවසන්. මේ ගතවෙන්නේ එහෙම කාලයක්.
රට බේරගෙන, සෞභාග්‍ය උදාකරන්න කියලා ඇවිත්, දැන් යන ගමන පෙන්නුම් කරන්නේ, නටපු නැටුමකුත් නෑ බෙරේ පළුවකුත් නැති තැනකටයි. දැන් ජනපතිට අවශ්‍ය වන්නේ ක්‍රමය වෙනස් කිරීමක් නොව කණ්ඩායම වෙනස් කිරීමයි

