මරණ පරීක්ෂණ නිමාවන තුරු මහර රැඳවියන්ගේ සිරුරු ආදාහනය කරන්න එපා – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම

Spread the love

මහර බන්ධනාගාරයේ සිරකරු උද්ඝෝෂණය සහ ඉන් අනතුරුව හටගත් ගැටුමට ප්‍රධාන වශයෙන්ම එහි පැවති තදබදය ඇතුළු කරුණු තුනක් හේතු වී තිබෙන බව ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

“අපි එතැනට යන කොටත් එතැන කිසිම පිළිවෙලක්, ‘සිස්ටම්’ එකක්, තිබුණේ නෑ. එතැන දේවල් සිද්ද වෙන්නේ කොහොමද?, තීන්දු ගන්නේ කවුද? කියල කිසිම පිළිවෙලක් තිබුණේ නෑ,” මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් රමණී මුත්තෙටුවේගම බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියාය.

“ඇත්තටම එතැන තිබුණේ ‘පිස්සිගේ පලා මල්ලක්’ වගෙයි.”

පසුව රිමාන්ඩ් රැඳවියන් විසින් මානව හිමිකම් කොමිසම වෙත සිය අදහස් ඉදිරිපත් කිරීම පිණිස 12 දෙනෙකු තෝරාගෙන තිබේ.

“ඒගොල්ල හැමෝම එක හඬින් කීවේ, අපිව මෙහාට ගෙනාපු එක වැරදියි, අනික අපට ඇප දෙන්නේ නැති එක වැරදියි කියල.”

ගැටුමට හේතු මොනවාද?

රමණී මුත්තෙටුවේගම පවසන පරිදි,

  • අධික තදබදය
  • කෝවිඩ් රෝගය පැතිර යාම ගැන පැවති බිය සහ
  • එයට එරෙහිව පැවති උද්ඝෝෂණය

රැඳවියන් 11 දෙනෙකුවත් මරා දමමින් මහර බන්ධනාගාරයේ හටගත් ගැටුමට හේතු වූ ප්‍රධාන කරුණු බව ඒ සම්බන්ධයෙන් ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පවත්වන ලද පරීක්ෂණයේ මූලික නිගමනය වී තිබේ.

“වෙලා තියෙන්නේ කොරෝනා ප්‍රශ්නේ නිසා බන්ධනාගාර බලධාරීන් මේක ගැන ඩීල් කරන්න බයෙන් හිටියේ,” කොමසාරිස්වරිය සඳහන් කළාය.

මහර රැඳවියන්ගේ උද්ඝෝෂණය

ගැටුම් වැළැක්වීම පිණිස නිර්දේශ

නොවැම්බර් 29 දින හටගත් ගැටුම පිළිබඳව නොවැම්බර් 30 සහ දෙසැම්බර් 01 යන දිනවල මානව හිමිකම් කොමිසම එහි ගොස් කරන ලද විමසීම්වලින් අනතුරුව මූලික වාර්තාවක් නිකුත් කර තිබේ.

මහර බන්ධනාගාරය ඇතුළු බන්ධනාගාරවල තදබදය අඩු කිරීමට වහාම පියවර ගත යුතු බව එම වාර්තාවේ දැක්වෙන එක් ප්‍රධාන නිර්දේශයකි.

  • සිරකරුවන්ගේ සෞඛ්‍යය හා ප්‍රතිකාර සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් බන්ධනාගාරවලට නව පිරිස් ඇතුළත් කිරීමේදී සියලු දෙනා පීසීආර් පරීක්ෂාවකට ලක් කිරීම
  • සිරකරුවන් අතර ඇති බිය අවම කිරීම සඳහා වෛරසය ආසාදනය වූ සියලු සිරකරුවන්ට වෙනම ප්‍රතිකාර හා පහසුකම් සැලසීම ආදිය
  • මිය ගිය, තුවාල ලැබූ, රෝහල්ගත කළ සියලු සිරකරුවන් පිළිබඳ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට නිවැරදි තොරතුරු ලබා දීම
  • සිරකරුවන්ගේ ආහාර, ජලය, විදුලි, ඖෂධ ඇතුලු සුබසාධනයන් අඛණ්ඩව ලබා ගැනීමට පහසුකම් සැලසීම

මානව හිමිකම් කොමිසමේ අනෙක් නිර්දේශ අතර වේ.

‘මෙච්චර තදබදයක් කොහෙවත් දැකල නෑ’

මහර බන්ධනාගාරය ඉදිරිපස

“අනිත් සේරම පැත්තකට දැම්මත්, දැරිය නොහැකි මට්ටමේ සංඛ්‍යාවක් රඳවා තැබීම (overcrowding) ලොකුම ප්‍රශ්නයක්. මම කොයි තරම් ඔය වගේ තැන්වලට ගිහින් තියෙනවද ඒත් මෙච්චර තදබදයක් කොහෙවත් දැකල නෑ,” රමණී මුත්තෙටුවේගම කියා සිටියාය.

“මහර රිමාන්ඩ් එකේ සිරකරු ධාරිතාව (capacitiy) 1000 යි, හැබැයි එතැන 2500 ක් ඉන්නවා. අනික මේ කෝවිඩ් කාලේ.”

කොමසාරිස්වරිය පවසන්නේ, මානව හිමිකම් කොමිසම සහ ක්‍රියාධරයන් විසින් කරන ලද ඉල්ලීම් සලකා බලා කෝවිඩ් වසංගතය හේතුවෙන් අප්‍රේල් මාසය අවසන් වනවිට බන්ධනාගාර ජනගහනය 30% කින් අඩු කිරීමට ආණ්ඩුව කටයුතු කළ නමුත්, සැප්තැම්බර් මාසය වනවිට යළිත් එම තීන්දුව වෙනස් කළ බවය.

“බන්ධනාගාර බලධාරීන් කෙලින්ම කිවුව – ‘ඉන්න අයට PCR කරන්නෙත් නෑ, ඇතුළට එන අයට පීසීආර් කළෙත් නෑ’ – කියලා.”

‘සිරුරු පුළුස්සන්න එපා’

ගැටුම අවස්ථාවේ සිදු වූ බව පැවසෙන තවත් බරපතල කරුණක් පිළිබඳව කොමසාරිස්වරිය අවධානය පළ කරන්නීය.

“සමහර රැඳවියන් සඳහන් කළා සමහර ටවර්වල (මුර කුළුණුවල) ඉඳල වෙඩි තිබ්බා කියල. අපි තාම දන්නේ නෑ ඒක ඇත්තද? කියල ඒ නිසා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව එනතුරු බලාගෙන ඉන්නේ,” රමණී මුත්තෙටුවේගම සඳහන් කළාය.

“එහෙම කළා නම් ජීව උණ්ඩවලින් මිනිස්සුන්ට වෙඩි තියපු එක වැරදියි. ඒක අවම බලය නෙමෙයි.”

රමණී මුත්තෙටුවේගම

එබැවින් කොරෝනාවෛරසය ආසාදනය වී තිබුණද, පශ්චාත් මරණ පරීක්ෂණය නිමාවන තුරු මරා දැමුණු රැඳවියන්ගේ සිරුරු ආදාහනය නොකරන මෙන් මානව හිමිකම් කොමිසම ලිපියකින් බලධාරීන්ට දැනුම් දී තිබේ.

“මොකද? ඒ මළ සිරුරු 11 තමා සාක්කියට තියෙන්නේ.”

එම සිරුරු පුළුස්සා දැමීමේ සූදානමට එරෙහිව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඉදිරිපත් කළ මෝසමක් විමසා බැලීමට අධිකරණය තීන්දු කර ඇතැයි ද මාධ්‍ය වාර්තාවල දැක්වේ.

බන්ධනාගාර නිලධාරීන්ගේ මානව හිමිකම්

මේ ගැටුමේදී රැඳවියන්ගේ හිමිකම් සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානයට යොමු වුව ද බන්ධානාගාර නිලධාරීන්ගේ මානව හිමිකම් ගැන වැඩි අවධානයක් යොමු වී නොමැති බවත් මානව හිමිකම් කොමිසම පෙන්වා දෙයි.

“මේකත් හරිම වැදගත්. බන්ධනගාර අධිකාරීවරයා සඳහන් කළා – ‘වැලිකඩින් රැඳවියන් 120 ක් අරගෙන එන්න එපා’ – කියල දනුම්දුන් බව.”

“- ‘ඇයි අපි ගැන හිතන්නේ නැත්තේ, මගේ නිලධාරීන්ගේ ජීවිතත් අවදානමේ. එයාලටත් දැන් කොරෝනා හැදිල’ – කියල බන්ධනාගාර අධිකාරීවරයා කිවුව,” රමණී මුත්තෙටුවේගම සඳහන් කළාය.

“ගොඩක් බන්ධනාගාර නිලධාරීන් හරිම තරහින් ඉන්නේ … ‘ටෙස්ට් කරන්න දෙන්නේ නෑ. මේ මිනිස්සුන්ට ඇප දෙන්නේ නෑ’ කියල එයාල කියනවා.”

මහර බන්ධනාගාරයේ සිටි ඇතැම් රැඳවියන්ට පහසුවෙන්ම ඇප දිය හැකිව තිබුණ බවත් කොමසාරිස්වරිය සඳහන් කළාය.

මව්වරුන්ගේ විලාපය

ගැටුමෙන් අනතුරුව රැඳවියන්ගේ මවුවරුන් ඇතුළු ඥාතීන් මහර බන්ධනාගාරය වෙත පැමිණ වැළපුන ආකාරය සිහිපත් කරන ප්‍රගතිශීලී කාන්තා එකමුතුවේ නීතිඥ නිරූපා සේරසිංහ, “රැඳවියන්ගේ ජීවිතය ඉල්ලලා කාකි ඇඳුම් ගාව කකුල් දෙක අල්ලලා වඳින අම්මලා දැක්ක මේ රටේ ජනතාව කිවුවේ එහෙම පුත්තු හදපු අම්මලාට ඔහොම වෙලා මදි – ඒ අම්මලාටත් වෙඩි තියන්න ඕන කියල,” යනුවෙන් කියා සිටියාය.

“අන්න එහෙම තැනකට මේ රටේ ජනතාව ගෙනිච්චේ මේ රටේ දේශපාලකයා,” යනුවෙන්ද නීතිඥ නිරූපා සේරසිංහ කියා සිටියාය.

නීතිඥ නිරූපා සේරසිංහ
ඡායාරූප ශීර්ෂ වැකිය,”රැඳවියන්ගේ ජීවිතය ඉල්ලලා කාකි ඇඳුම් ගාව කකුල් දෙක අල්ලලා වඳින අම්මලා දැක්ක මේ රටේ ජනතාව කිවුවේ එහෙම පුත්තු හදපු අම්මලාට ඔහොම වෙලා මදි – ඒ අම්මලාටත් වෙඩි තියන්න ඕන කියල”

ගැටුම අවස්ථාවේ මතු වූ ඒ තත්වය ගැන අදහස් දක්වමින් රමණී මුත්තෙටුවේගම පවසන්නේ, “පවුල් දන්නේ නෑ කාටද අසනීප?, කවුද මැරුණේ? කියල. කිසිම දෙයක් දන්නේ නෑ.”

“මේ මිනිසුන්ට හිතක් පපුවක් නැද්ද ? තමන්ගේ දෙමව්පියන් මතක් වෙන්නේ නැද්ද?,” යනුවෙන් ද ඇය ප්‍රශ්න කරන්නීය.

වගකීම කාගේද?

මේ අතර සිරකරුවන් මරා දැමීමට විරෝධය පාමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපස පැවැත්වීමට සැලසුම් කළ උද්ඝෝෂණයක් පොලිසිය විසින් වලක්වනු ලැබ තිබේ.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රියගේ ‘ට්විටර්’ පණිවුඩයක දැක්වෙන්නේ ඒ සඳහා පොලිසිය මහේස්ත්‍රාත් නියෝගයක් ලබාගෙන ඇති බවය.

බන්ධනාගාර තුළ කෝවිඩ් 19 රෝගය පැතිරයාම වැළැක්වීම පිණිස පියවර ගන්නා මෙන් මාර්තු 16 වෙනිදා සිට තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටි නමුත්, රජයෙන් එයට කිසිදු සාධනීය ප්‍රතිචාරයක් ලැබී නැතිබව ‘සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ’ සභාපති නීතිඥ සේනක පෙරේරා බීබීසී සිංහල සේවයට පැවසීය.

බන්ධනාගාරයේ හෝ රජයේ වෙනත් ආයතනයක අත්අඩංගුවේ පසුවන ඕනෑම පුද්ගලයකුගේ ආරක්ෂාව සහතික කිරීම ආණ්ඩුවේ වගකීමක් බවත් කමිටුව අවධාරණය කරයි.

මේ අතර ‘සමබිම’ පුවත්පතට ලිපියක් සපයමින් මාධ්‍යවේදිනී ජයනි අබේසේකර පවසන්නේ, දෙවැනි කෝවිඩ් රැල්ල පැතිරීම පාලනය කිරීමට නොහැකිවීම වටහාගත හැකි වුවත්, “රජයේ සම්පූර්ණ පාලනය යටතේ පවතින බන්ධනාගාර ආශ්‍රිතව කෝවිඩ් පැතිරීම පාලනය කර ගැනීමට නොහැකි වීමත් සිය සෞඛ්‍යාරක්ෂාව ඉල්ලා සිටි රැඳවියන් ඝාතනය කිරීමක් දක්වා වන තැනකට එය තල්ලු වීමත් සම්බන්ධයෙන් රජයට සහ බන්ධනාගාර බලධාරීන්ට සරල පිළිතුරක් නැති බව අවධාරණය කළ යුතුය,” යනුවෙනි.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලිපිය
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලිපිය

මනෝ සමාජයීය සහයෝගයක්

බීබීසී සිංහල සේවය සමඟ වැඩිදුරටත් කරුණු දැක්වූ මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් රමණී මුත්තෙට්ටුවේගම, ගැටුම හේතුවෙන් දැඩි මානසික කම්පනයකට මුහුණ දී සිටින බව දක්නට ලැබෙන රැඳවියන්ගේ මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ගේ ද මානසික සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගැනීමේ වැදගත්කම අවධාරණය කළාය.

“ඇතැමුන් හුස්ම ගැනීමේ අපහසුතා ගැන සඳහන් කළ අතර, ගැටුමේ දී හටගත් තුවාල ගැන තව සමහරුන් සඳහන් කළ,” බව මානව හිමිකම් කොමිසම නිකුත් කළ මූලික වාර්තාවේ දැක්වේ.

“ගැටුමේ දී මියගිය ‘සහෝදරයන්’ ගැන අදහස් දක්වන්න සිරකරුවන්ට අපහසු වුනා. මේ ගැටුමේ දිගු කාලීන බලපෑම අවප්‍රමාණ කිරීමට නම් ඔවුන්ට මනෝ සමාජයීය සහයෝගයක් (psycho social support) ලබාදීම අත්‍යවශ්‍ය වේ,” යනුවෙන් ද වාර්තාවේ දැක්වේ.

මහර බන්ධනාගාරයේ ගැටුම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ‘විනිසුරුවන් නියෝජනය කරන ජාත්‍යන්තර කොමිසම’ (ICJ) ඒ සම්බන්ධයෙන් පූර්ණ, ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමේ වැදගත්කම අවධාරණය කර තිබිණ.

කෝවිඩ්-19 රෝගය වැළඳීම හේතුවෙන් ජීවිතය අහිමිවීමේ අවදානමට මුහුණ දී සිටින රැඳවියන් මෙන්ම සුළු වැරදි වෙනුවෙන් දඬුවම් ලබමින් සිටින සිරකරුවන් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ද ICJ සංවිධානය ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

ඒ පිළිබඳව නොවැම්බර් 30 වෙනි දින පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමතිනී, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කියා සිටියේ, බන්ධනාගාරවල තදබදය අඩු කිරීමට ආණ්ඩුව දැනටමත් පියවර ගෙන තිබෙන බවය.

කොරෝනාවෛරසය ආසාදිත සිරකරුවන් වැලිකන්ද රෝහලට ඇතුළත් කොට තිබෙන බව කියා සිටි රාජ්‍ය ඇමතිනිය, කෝවිඩ් ආසාදිත සියලු සිරකාරියන් කන්දකාඩු පුනරුත්තාපන කඳවුර වෙත යොමුකරන ලද බවත් සඳහන් කළාය. ඇමතිනිය වැඩිදුරටත් කියා සිටියේ, මත්ද්‍රව්‍ය සම්බන්ධ සුලු වැරදි සඳහා අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයන්ට ඇප ලබාදීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාවට නගා ඇති බවය.

සම්පූර්ණ උපුටා ගැනීම බී.බී.සී සන්දේශය වෙබ්අඩවියෙනි

Tags: