Sri Lanka Economic Summit 2020: රට වෙනුවෙන් එක්ව වැඩ කරමු – ජනපති පුද්ගලික අංශයට කියයි

Spread the love

ජනතා කේන්ද්‍රීය ආර්ථික පුනර්ජීවනයේ ශක්තිය සහ බලවේගය රජය බව පිළිගනිමින් ආර්ථිකය ගොඩනැගීමේ කාර්යයට එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික ව්‍යවසායකයන්ගෙන් ඉල්ලා සිටී.

“පෞද්ගලික අංශය ආර්ථික වර්ධනයේ එන්ජිම ලෙස සලකනු ලැබේ. මේ කීර්තිනාමය යතාර්ථයක් වීමට නම් ගතානුගතික සහ අඩු අවදානමක් සහිත උපායමාර්ග හැමවිටම තෝරා ගැනීම වෙනුවට වැඩි ප්‍රතිලාභ අත් කර ගැනීමේ ශක්‍යතාව සහිත නිර්භය ආයෝජන කරන්න” ජනාධිපතිවරයා පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන්ට පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ අද (01) පෙරවරුවේ කොළඹ දී ආරම්භ වූ  “ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2020”  (Sri Lanka Economic Summit 2020) වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමිනි.

කොවිඩ් 19 වසංගතය හමුවේ අඩාල වූ ආර්ථිකයේ පුනර්ජීවනය සහ අඛණ්ඩ වර්ධනය සඳහා සිය නායකත්වයෙන් යුත් රජය හඳුන්වාදී ඇති ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග පැහැදිළි කළ ජනාධිපතිතුමා ජනතා අභිලාෂයන් මැනවින් ආමන්ත්‍රණය කළ හැකි පරිදි පෞද්ගලික අංශයේ පූර්ණ ධාරිතාව උපයෝගී කර ගැනීමට ඉවහල්වන අයුරින් සිය වගකීම් ඉටු කරන බව පැවසීය. 2021 අය වැය ලේඛනයෙන් මේ පරමාර්ථය සාක්ෂාත් කර ගැනීමට උපකාරී වන ප්‍රවේශ ගණනාවක් හඳුන්වාදී ඇතැයි ජනපතිවරයා කීය.

උක්ත අරමුණ කරා ළගාවීම පිණිස අපේ නවක ව්‍යවසායකයන් සහ පිළිගත් සමාගම් නව ඉසව් සොයා යාම ආරම්භ කළ යුතු බව ජනපතිවරයා පෙන්වා දුන්නේය.

“ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2020” සංවිධාන කරන ලද්දේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසිනි. 20 වැනි වතාවට පැවැත්වෙන සමුළුවේ තේමාව “ජනතාවාදී ආර්ථික පුනර්ජීවනයකට මග පාදමු” යන්නයි. ඉන්දීය ජනරජයේ මුදල් හා ව්‍යාපාර කටයුතු ඇමතිණි ශ්‍රීමති නිර්මලා සීතාරාමන් මහත්මිය ප්‍රධාන දේශනය කළාය. ප්‍රධාන පෙළේ ප්‍රතිපත්ති සම්පාදකයෝ, ව්‍යාපාරිකයෝ සහ අන්තර්ජාතික ආර්ථික ක්ෂේත්‍රයේ නියෝජිතයෝ දෙදින සමුළුවට සහභාගි වී සිටිති.

“කොරෝනා වසංගතය ආර්ථිකයට කළ හානිකර බලපෑම මධ්‍යයේ භාණ්ඩ නිෂ්පාදනය ඇතුළු අංශ කිහිපයක වර්ධනයට උත්ප්‍රේරණයක් ලැබුණා. 2020 වසරේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම වසංගතය හමුවේ වුවත් අපේක්ෂා කළාට වැඩි ඉහළ අගයක් ගත්තා. දැනුම් සේවකයන් නිවසේ සිට වැඩ කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්වෙමින් තිබෙනවා. සැපයුම් ගැටළු විසඳීම සඳහා නව තාක්ෂණය උපයෝගී කර ගැනීම තවත් ප්‍රවනතාවක්. නව ප්‍රවේශයන්ගේ ආභාෂය ඇතිව කෘෂිකර්මය, අධ්‍යාපනය ඇතුළු සියලු ක්ෂේත්‍රවලට නූතන තාක්ෂණය හඳුන්වාදිය යුතුයි. තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය සහ පුහුණුව සඳහා වැඩි වැඩියෙන් ආයෝජනය කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක්” ජනාධිපති රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

“ශක්තිමත් ආර්ථික පුනර්ජීවනයක් සඳහා වේදිකාව සැකසීමට රාජ්‍ය අංශය සහ පෞද්ගලික දෙඅංශය අතර හවුල්කාරීත්වය අවශ්‍ය වේ. විවිධ ක්ෂේත්‍රවල අපගේ සියලු ප්‍රවේශයන් කේන්ද්‍රීය දැක්මක් මත පදනම්ව පැහැදිලි අරමුණු හා ක්‍රියාකාරී සැලසුම් ඔස්සේ මෙහෙයවනු ලබන බවට සහතික විය යුතුයි. රාජ්‍ය හා පෞද්ගලික අංශය එළඹෙන සියලුම ප්‍රවේශයන් අපගේ වර්ධන මාවත තහවුරු කිරීමට දායක විය යුතුය”. යනුවෙන් පැවසූ ජනාධිපතිවරයා මේ සන්දර්භය තුළ, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සකස් කර ඇති ආර්ථික රාමුව  අගය කළේය.

සමුළුවට සහභාගීවන විද්වතුන්, දේශකයන්, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රමුඛයන් සහ රජය එක්ව සහයෝගයෙන් වැඩ කිරීමෙන් ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනාත්මක පරිවර්තනයක් ඇති කළ හැකි බවට ජනපතිවරයා විශ්වාසය පළ කළේය.

ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ආචාර්ය හාන්ස් විජයසුරිය මහතා පිළිගැනීමේ කථාව කළේය. මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ද සමුළුවට එක්විය.

Tags: